අයි. එම්. එෆ්. තුන්වෙනි වාරිකය ජුනි මාසයේදී ලැබෙනවා – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

62

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන ණය වාරිකය ලබන (ජුනි) මාසයේදී ලබාගැනීමට අපේක්‍ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සම්බන්ධයෙන් වන දෙවන සමාලෝචනය ද ලබන මාසයේදී සම්පූර්ණ කිරීමට හැකිවනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මහ බැංකු මූලස්ථානයේදී පෙරේදා (27දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇති කරගෙන ඇති වැඩසටහනේ මේ වන විට හොඳ ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා. මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනයට සමගාමීව ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනවා. විශේෂයෙන් නිල ණය හිමියන්ගේ කමිටුව සමග වගේම පුද්ගලික හා වාණිජ ණය හිමියන් සමග සාකච්ඡා කරනවා. ඒවායේ හොඳ ප්‍රගතියක් තියෙනවා. මේ අනුව ජුනි මාසෙද මීළඟ ණය වාරිකය ලබාගන්න පුළුවන් වෙයි කියල අපේක්‍ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

මහ බැංකුව රජයෙන් වෙන්වූ ආයතනයක් ලෙස දක්වා නැති බවත් ඒ සම්බන්ධයෙන් මහ බැංකුවේ සඳහන් කිරීම්වල පරණ මහ බැංකු වාර්තාවල හෝ මෙවර මහ බැංකු වාර්තා අතර කිසිම වෙනසක් නැති බවද මහ බැංකු අධිපතිවරයාගෙන් ‘දිවයින’ කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් කැඳවීමක් කරන්නේ නම් ඒ කරුණු පැහැදිලි කිරීමට ඉතා කැමැත්තෙන් සිටින බවද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් තවමත් ඒ සම්බන්ධයෙන් මහ බැංකුවට කැඳවීමක් ලැබී නැති බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

මහ බැංකුවේ වැටුප් සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටු වාර්තාව ලැබී ඇති බව මුදල් කාරක සභාවේ පසුගිය රැස්වීමකදී සඳහන් වූ බවත් ඒ වාර්තාව මුදල් කාරක සභාවේදී ඉදිරියේදී සාකච්ඡාවීමට නියමිත බවත් ආචාර්ය වීරසිංහ මහතා තවදුරටත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment