අයි එම් එෆ් දෙන්නේ ගැරන්ටියක් විතරයි!

808

මේ වසර අවසානයේ රුපියල යළිත් අවදානමක

ප්‍රධාන ආර්ථික න්‍යායන්හි විග්‍රහයන් මත වසර අවසාන වන විට ලංකාවේ රුපියල ඉහළ අවදානම් සහිත මුදල් ඒකකයක් බවට පරිවර්තනය විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කරයි.

ඩොලරයේ අගය පහත වැටී රුපියලේ අගය ඉහළ යෑම රජයේ කෙටිකාලීන සැලසුමක් වුවත් එය මේ වසරේ අවසානය වන විට දරුණු ආර්ථික පසුබෑමක පෙරනිමිත්තක් බව ද මහාචාර්යවරයා පවසයි.

ආර්ථික විශ්ලේෂණය මත මේ සිදුව තිබෙන්නේ රුපියල ශක්තිමත් වීමක් නොව කෘත්‍රිමව රුපියල ශක්තිමත් කිරීමක් බව ද හෙතෙම කීවේය. මෙවැනි තත්ත්වයක් තුළ දිගුකාලීනව අපනයනය අධෛර්යවත් වීම මත රටට ගලා එන ඩොලර් ප්‍රමාණය අඩු වීමක් සිදු වනවා මෙන්ම ආනයනකරුවන් ධෛර්යවත් වීම මත රටෙන් පිටතට ගලා යන ඩොලර් ප්‍රමාණය වැඩි වීමක් සිදු විය හැකි බව ද මහාචාර්යවරයා කියයි.

එසේම ඉදිරියේ දී ශ්‍රී ලංකාව ජීවන වියදම අතින් ඉහළ රටක් බවට පත් වන බවත් එනිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවන තත්ත්වයක් නිර්මාණය විය හැකි බවත් හෙතෙම පවසයි. එයට හේතුව වන්නේ විදේශිකයකු ඩොලරයක් මාරු කිරීමේදී රුපියල් 370 ක් පමණ මිලක් ඔහුට ලැබුණ නමුත්, අද වන විට ඩොලර්යක් සඳහා ඔහුට ලැබෙන්නේ රුපියල් තුන්සිය දහයකට ආසන්න මුදලක් වීම බව ද මහාචාර්යවරයා කීවේය.

මෙයට සාපේක්ෂව දේශීය භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් පහළ නොයන්නේ නම් රට අන්තර්ජාතික වශයෙන් ඉහළ ජීවන වියදම් සහිත රටක් ලෙස පෙන්නුම් කිරීමට හැකියාව ඇති බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ණයක් ලබා ගැනීම යනු සෙසු රටවලින් ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය පාර විවෘත කිරීමට සහතිකයක් ලැබීම පමණක් බවත් ඒ හරහා සෙසු රටවල්වලින් ණය ලබා ගැනීමේ ඉඩ සැලසෙන බවත් මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

ශ්‍රී ලංකාව දහසය වතාවක් තිස්සේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල රවටමින් ණය ලබා ගෙන ඇති බවත් ලෝකයේ ණය පැහැර හැරි රටවල් අතර ප්‍රමුඛතාව ගෙන සිටින බවත් හෙතෙම කීය.

මෙවර අයි. එම්. එෆ්. ණය අනුමත වීම හරහා රටේ සමස්ත ප්‍රශ්න විසඳන බවට බලධාරීන් ප්‍රකාශ කළ ද සිදුවන්නේ ඩොලර් බිලියන 2.9 ක ණයක් මත තවදුරටත් ලෝකයාට ණයකරුවකු වීමට ඇති ඉඩක් පමණක් බව ද ඔහු කියා සිටියේ ය.

ලෝකයෙන් ණය ගැනීම මත පමණක් දියුණු වූ කිසිදු රටක් ලෝකයේ නොමැති බවත් ශ්‍රී ලංකාව මේ වන විට කළ යුත්තේ ණය ලබා ගන්නා මාර්ග පාදා ගන්නවට වඩා ඩොලර් උපයමින් ණය ගෙවීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම බවත් මහාචාර්යවරයා පැවසීය.

රටකට අවශ්‍ය වන්නේ ලෝකයෙන් ණයකරුවකු වීමක් නොව ලෝකයට ණයහිමියකු වීම බව ද හෙතෙම කීය. ඒ සඳහා විදේශ විනිමය උපයන්නෙක් බවට දිගුකාලීනව ආර්ථිකය පරිවර්තනය කළ යුතුය යැයි ද හෙතෙම කියා සිටියේය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment