අයි.එම්.එෆ්. පසුවිපරම් කමිටුවක්

62

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයා බැලීම සඳහා පසු විපරම් කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු විද්වතුන් කිහිපදෙනකුගෙන් යුක්ත කමිටුව ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ. මෙම කමිටුව කටයුතු කරන ආකාරය ගැන යෝජනාවක් ජනපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමුකර කමිටුවට අනුමැතිය ලබාගැනීමට ද නියමිතය. අදාළ කමිටුව විසින් අයි. එම්. එෆ්. ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිතර පසු විපරම් කළයුතු අතර බදු ප්‍රතිපත්ති, බදු ප්‍රතිශතයන් වෙනස්වීම, වක්‍ර බදු අඩු කරමින් ඍජු බදු ඉහළ නැංවීම ආදිය ගැන නිරන්තරයෙන් සොයා බලා ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුවේ.

ඊට අමතරව අයි. එම්. එෆ්. කොන්දේසි ක්‍රියාත්මක කිරීම ගැන ද මෙම කමිටුව විසින් සොයා බැලිය යුතුය. දූෂණ මර්දන පනත වැනි අණපනත් ගැන ද සොයා බලමින් මාසයකට වරක් මෙම කමිටුව විසින් ඇමැති මණ්ඩලය දැනුවත් කළ යුතු බවද ජනාධිපතිවරයා කමිටුවට උපදෙස් දී ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment