අයි.එම්.එෆ් බිල්ලන් මවන්නේ මූල්‍යමය විනයක් නැති අයයි – එ. ජා. සභාපති

150

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ද විද්‍යුත් ගුවන්විදුලි නාලිකාවක ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර සිටි පරිදි 1977 සිට 1994 දක්වා ලෝක බැංකුවත්, ආසියානු සංවර්ධන බැංකුවත් පිළිගත් මූල්‍ය ආයතන සියල්ලත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් විශාල සහයෝගයක් ලබාදී ඇති බවත් මූල්‍ය විනයක් ඇතිව රට පාලනය කළ නිසා එවැනි අනුග‍්‍රහයන් ලැබුණ බවත් එජාප සභාපති වජිර අබේවර්ධන මහතා නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝකයේ ආර්ථික වර්ධනය සහ මූල්‍යමය ස්ථාවරභාවය පවත්වා ගැනීම උදෙසා ස්ථාපනය කරන ලද ආයතනයකි. එම ආයතනය මගින් ජාත්‍යන්තර වෙළෙඳාම ප‍්‍රවර්ධනය කිරීම සහ ලෝකයේ රටවල දරිද්‍රතාවය අවම කිරීම උදෙසා කටයුතු කිරීම මූලික අරමුණක් වේ.

1944 දී සාමාජික රටවල් 44 කින් සැදුම්ලත් ලෝක බැංකුව බි‍්‍රට්න් වුඩ්ස් ගිවිසුම ප‍්‍රකාරව ස්ථාපනය කර ඇති අතර, එමගින් ස්ථාවර විනිමය අනුපාතය හුවමාරු කළ හැකි මූල්‍යමය පද්ධතියක් ස්ථාපනය කර ඇත. එම බැංකුවේ දැනට සාමාජික රටවල් 189 ක් ආධාර උපකාර ලබා ගනිමින් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධාන කාර්යයන් අතරට දත්ත රැස් කිරීම, ශක්‍යතා වර්ධනය සහ ණය ලබාදීම ද මූලික අරමුණක් වේ.

1950 අගෝස්තු මස 29 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබාගත් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අරමුදලේ අභ්‍යන්තර මූල්‍ය අගය වන ස්පෙෂල් ඩ්‍රෝවින්ග් රයිට්ස් වලින් රුපියල් මිලියන 578.8 ක කෝඨාවක් හිමි අතර, මිලදී ගැනීම් සහ හිඟ මුදල් 2021 සැප්තැම්බර් මස වන විට ස්පෙෂල් ඩ්‍රෝවින්ග් රයිට්ස් මිලියන 922.26 කි. සාමාජිකත්වය ලබාගැනීමෙන් පසු ශ‍්‍රී ලංකාව 16 වතාවක් මූල්‍ය පහසුකම් ලබාගෙන තිබේ.

2016 හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රජය සමයේ දීර්ඝ කාලීන ණය පහසුකමක් ලෙස මාස 36 ක කාල පරිච්ෙඡ්දයක් සඳහා ඇමරිකන් ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලබාගත් අතර, ඒ සඳහා රටේ ආර්ථිකය සවිමත් කිරීමට මූලික අරමුණු 4 ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කර තිබිණි.

එම යෝජනා 4 ම ශ‍්‍රී ලංකාවේ යහපත සඳහා කළ යුතු කාර්යයන් බව මහජනතාවත්, ඔබත්, මමත් පිළිගත යුතුව ඇත. මෙවැනි කාර්යයන් සම්බන්ධයෙන් මහා බිල්ලන් මැවීම දේශපාලන ලෝකයේ සිටින අනුවණ පුද්ගලයන්ගේ ප‍්‍රධාන මාතෘකාවක් බව සඳහන් කිරීමට කැමැත්තෙමි.

කෙසේ වුව ද එකල පැවැති අපගේ රජය පෙරළී යෑම හේතුවෙන් ශ‍්‍රී ලංකාවට එම ගිවිසුමේ දෙවන කාර්තුවට අදාළ මුදල් ප‍්‍රමාණය ලබාගැනීමට නොහැකි වූ අතර, එමගින් විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවට අහිමි විය. මෙවැනි කරුණු සම්බන්ධයෙන් මහජනතාව සත්‍ය අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ බිල්ලන් මවන්නේ මූල්‍යමය විනිමයක් සහ ආර්ථික විනයක් අනුව රටක් පාලනය කිරීමට අකමැති කණ්ඩායම් විසිනි. එවැනි කණ්ඩායම් කෙරෙහි මහජනතාව නිසි පිළිතුරු ලබා දිය යුතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment