අයි.එම්.එෆ් යන එක කිසි වරදක් නෑ හැබැයි ඡන්දෙ දෙන්න මට එන්න වෙන්නෙ නෑ -මෛත්‍රිපාල කියයි

128

වර්තමානයේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීම කිසිදු වරදක් නොවන බව හිටපු ජනාධිපති ශ්‍රී ලංක නිදහස් පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට පනවා ඇති කොන්දේසි අතුරින් රටට අහිතකර කොන්දේසි සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කර එම කොන්දේසි සරල කර ගැනීමට හෝ ඉවත්කර ගැනීමට රජය කටයුතු කළ යුතු බව ද හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ජාත්‍යන්තර අරමුදලින් පසුගිය වසර තිහකට වැඩි කාලයක් සිටම සෑම රජයක්ම ණය ලබාගෙන ඇත. ඒ අනුව වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීම රටේ ආර්ථික තත්ත්වය තුළ සිදුකිරීමේ කිසිදු වැරැද්දක් නොමැත.

එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පනවා ඇති කොන්දේසි තුළින් අපට අහිතකර කොන්දේසි සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කර ඒවා සරල කර ගැනීම හෝ ඉවත්කර ගැනීම කළ හැකිය. දැනට පනවා ඇති කොන්දේසි අතුරින් අප රටට හිතකර කොන්දේසි රාශියක් ඇත. එම කොන්දේසි අතුරින් මූලික කොන්දේසියක් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සාමාජික රටවල් සඳහා මග පෙන්වනු ලබන දූෂණ වංචා හා හොරකම් වැළැක්වීමට අවශ්‍ය විධිවිධාන සකස් කළ යුතු බවය. විදේශ ණය ගැනීමේ වැරැද්දක් නොමැති අතර පසුගිය වසර 40 ක කාලයක් සිදුවී ඇත්තේ දේශීය මුදල් පමණක් නොව විදේශීය ණය මුදල්වලින් පවා බරපතළ වංචා, දූෂණ හා හොරකම් සිදුකිරීමය. මෙවැනි වංචා හා දූෂණවලට ඇතැම් දේශපාලනඥයන් හා ඇතැම් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධවී ඇත. දැනට ගනු ලබන විදේශ ණය ද, වංචා දූෂණවලින් තොරව විනිවිධ භාවයෙන් රටේ පොදු ජනතාවගේ දුගීභාවය වැළැක්වීම සඳහා ආයෝජනය කිරීම ආණ්ඩුවේ වගකීමයි.

28 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමට අත්‍යවශ්‍ය කරුණක් නිසා කොළඹින් පිටවීමට සිදුවී ඇති බැවින් සහභාගි වීමට නොලැබීම ගැන මා බලවත් ලෙස කනගාටු වෙමි. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීරණය බව ද මෙයින් දැනුම් දෙමි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment