අයි.එම්.එෆ්. වරද්ද ගත්තොත් ආර්ථිකය අමාරුවේ

271

අප සිටින්නේ ඉතාම තීරණාත්මක අවස්ථාවක බවත් මේ අවස්ථාවේ අයි.එම්.එෆ්. වැඩසටහන වරද්ද ගත්තොත් ආර්ථිකය සෑහෙන සංකීර්ණ තත්ත්වයකට පත්වනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

අයි.එම්.එෆ්. ගිය මේ 17 වන වතාව කියන්නේ පෙරට වඩා සංකීර්ණ තත්ත්වයක්. පසුගිය 16 වැනි වතාවෙම අපට තිබුණේ විදේශ විනිමය අර්බුදය පමණයි, රාජ්‍ය ණය අර්බුදයක් තිබුණේ නෑ. මේ අවස්ථාවේ විදේශ විනිමය අර්බුදය සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය කියන දෙකම එකට ඇවිත් තියෙන්නේ. මේ නිසා අයි.එම්.එෆ්. වැඩසටහනේ සියලුම ප්‍රතිසංස්කරණ ජනතාවත් සමග එකතු වෙලා ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා යැයි ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (04 දා) මහ බැංකු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දිවයින ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ නිසා 18 වන වතාවට අයි.එම්.එෆ්. යන්නෙ නැතුව සිටීමට නම් මේ 17 වන වතාවේ අප අයි.එම්.එෆ්. සමග එකඟ වූ වැඩපිළිවෙළ දිගටම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව ද, එහි වගකීම තිබෙන්නේ මහ බැංකුවට, රජයට පාර්ලිමේන්තුවට, දේශපාලනඥයන්ට සහ රටේ ජනතාවට යැයි ද ඔහු කීවේය. ඒ නිසා යම්කිසි ආකාරයකට ඒ වැඩපිළිවෙළ ගැන පිළිගැනීමක් ඇතිව ජනතාව ද ඊට සහාය දිය යුතුව ඇති බව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

මේ වැඩපිළිවෙළ ගියොත් තමයි දීර්ඝ කාලීනව රටට ගොඩඑන්න පුළුවන් වෙන්නේ කියන අවබෝධය හැමදෙනාටම තිබිය යුතුයි. එම අයි.එම්.එෆ්. වැඩසටහනේ සියලුම ප්‍රතිසංස්කරණ සියලුමදෙනා එකතු වී සමාන්තරව ඉදිරියට ගෙන යා යුතුයි යැයි ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් පැවසීය.

මේ අවස්ථාවට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් වන ඉවට් ප්‍රනාන්දු සහ නෙලුමානී දවුලගල යන මහත්මීන් ඇතුළු මහ බැංකු උසස් නිලධාරීහු සහභාගි වී සිටියහ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment