අයි.පී.එල්. මූලික වටයේ අවසන් ජය පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට

186

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටය නිමා කරමින් පැවැති අවසන් තරගයේ ජය හිමිකර ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පෙරේදා (22 වැනිදා) සමත් විය. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමිනි.

 පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් ක්‍රීඩකයෝ නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 157ක් රැස් කිරීමට සමත් වූ අතර පන්ජාබ්

 කිංග්ස් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 15.1කදී කඩුලු 5ක් පමණක් දැවී පසුකර යෑමට සමත් වූහ.

 ලියම් ලිවින්ග්ස්ටන් හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් සමගින් පන්දු 22කදී නොදැවී ලකුණු 49ක් වාර්තා කරමින් පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. ෂිකර් ධවාන් ලකුණු 39ක් සහ ජොනි බෙයාස්ටෝ ලකුණු 23 බැගින් ඊට එක් කළේය.

 සන්රයිසස් හයිද්‍රාබාද් වෙනුවෙන් අභිෂේක් ෂර්මා ලකුණු 43ක්, වොෂිංටන් සුන්දර් ලකුණු 25ක් සහ රොමාරියෝ ෂෙපර්ඩ් නොදැවී ලකුණු 26 බැගින් රැස් කළේය.

 නේතන් එලිස් සහ හර්ප්‍රිට් බ්‍රාර් සන්රයිසස් ඉනිමේ කඩුලු 3 බැගින් බිඳ දැමීය.

 මෙම තරගයත් සමගින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටය අවසන් වූ අතර එහිදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට පිළිවෙලින් ගුජරාට් ටයිටෑන්ස්, රාජස්ථාන් රෝයල්, ලක්නව් සුපර් ජයන්ට් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් සමත්වී සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment