අය – වැය සංවාද අස්සේ මතු වූ සංඥා කීපයක්:

326

හා…! හා…! බලාගෙනයි!

2023 අය – වැය විවාදයෙහි සුවිශේෂ ලක්ෂණය වූයේ එහි අඩංගු මූලික යෝජනා පිළිබඳව ගැඹුරු හෝ මූලධර්ම විමර්ශනය කිරීමට වඩා සමාජ දේශපාලන කරුණු ඉස්මතු කිරීමත්, ඒවා සංවාදයට ලක් කිරීමත්ය. ජනාධිපති රනිල් සිය අය වැය ඉදිරිපත් කරමින් සඳහන් කළේ තම අය වැය එදා මෙදා තුර මෙරටේ ආර්ථිකයෙහි වූ සංවෘත හා විවෘත ආර්ථික ප්‍රතිපත්ති දෙකට ම වඩා වෙනස් නව සමාජ ආර්ථික කියවීමක් බවය. තම පුරෝගාමී නායකයාවූ ජේ. ආර්. ජයවර්ධන විසින් සමාජ ගත කරන ලද විවෘත ආර්ථික පිළිවෙතද අද කල් ඉකුත්ව ඇති බව ජනාධිපති රනිල් සඳහන් කර තිබුණි. කුමක් වුවත් අය වැය විශ්ලේෂණයකට වඩා පවත්නා සමාජ දේශපාලන අර්බුදය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිලෙමින් තිබීම ගැනද විපක්‍ෂයේ බහුතරයක්

මන්ත්‍රීවරුන් විසින් ආණ්ඩුවට චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කරන ලදී. පොහොට්ටු පාලනයෙන් වෙන්වී විපක්‍ෂයට ගොස් ස්වාධීනව සිටින ඩලස් පිලත් විමල් හා වාසු කණ්ඩායමත් දැඩිව ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මර්දනකාරී පිළිවෙතකට යොමුවී සිටින බවය. ස. ජ. බ. නායක හා විපක්‍ෂ නායක සජිත් පාර්ලිමේන්තුව තුළදී සිදු කළ විවේචනවලට අමතරව විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේ දී සිදු කළ විශේෂ ප්‍රකාශයකට පිළිතුරු වසයෙන් විපක්‍ෂනායකවරයා තම නිවේදනය නිකුත් කර තිබුණි. ඔහු සඳහන් කර තිබුණේ කිසිදු ජනතා කැමැත්තකින් තොරව පස්සා දොරෙන් බලයට පත්ව, ආර්ථික ඝාතකයන් රැළකට රැකවරණ දෙන ජනාධිපතිවරයා විසින් කරනු ලබන බියගුළු ප්‍රකාශවලට මෙරටේ ජනතාව බිය ගැන්විය නොහැකි බවය. ජනාධිපතිවරයාට මේ වනවිට මෙරටේ සිදු වූ ගාලු මුවදොර විරෝධතාව මෙන්ම එයින් උද්ගතවූ සමාජ දේශපාලන ඵල විපාක ගැන ද අමතකව තිබෙන බව ද සජිත්ගේ විවේචනය විය.

අය - වැය සංවාද අස්සේ මතු වූ සංඥා කීපයක්:

මේ පිළිබඳව ජ. වි. පෙ. විජිත හේරත් කියා සිටියේත් අරගලයට පින් සිදුවන්නට ජනාධිපති පුටුවේ වාඩිවීමට හැකි වූ රනිල් අද එය අමතක කර දමා මර්දනයකට සැරසී සිටින බවය. ජ. වි. පෙ. පමණක් නොව, විපක්‍ෂයේ බොහෝ දෙනෙකු විසින් ද මතු කරනු ලබන කරුණක් වී ඇත්තේ රනිල්ට ජනාධිපති ධුරය හිමි වූයේ අරගලයේ ඵලයක් විසින් බවය. එසේම මෙහිදී පොහොටුව පවසන කරුණක් ද ඇත. එනම් අරගලයෙන් පසුව ජනාධිපති ධුරයට පත්වීමට පවා තිබුණු අවස්ථාවට විපක්‍ෂනායක සජිත් පයින් ගැසූ බවය. එවැනි අභියෝගයක් භාර ගැනීමට තරම් දිරියක් සජිත්ට නොවූ බව ද ආණ්ඩුවේ ඇමැතිවරු කියත.ි මෙම අය වැය විවාදයේ දී ඒ සම්බන්ධයෙන් සජිත් ලියූ ලිපියක් ද ජනාධිපති රනිල් සභාගත කළ අතර එයට ප්‍රතිචාර දැක්වූ සජිත්ගෙන්ද තවත් ලිපියක් ඉදිරිපත් වූ බව පෙනුණ. කුමක් වුවත් මේ කාරණය සම්බන්ධයෙන් පොහොට්ටුව පළ කරන අදහස් හා ජනාධිපති රනිල් කළ විවේචන මෙන්ම සජිත්ගේ ප්‍රතිචාර ද අපට පෙනෙන්නේ හෝදා හෝදා මඩේ දමන දේශපාලන විගඩමක් බවය. ඇත්ත වසයෙන්ම අද ජනතාවට තිබෙන ප්‍රශ්න ඊට වඩා හාත් පසින් වෙනස් බවද ආණ්ඩුව මෙන්ම විපක්‍ෂයේ සියලු දෙනාම ද දැඩිව අවධානය යොමු කළ යුතු බව අපට යොජනා කළ හැකිය.

ජනාධිපති රනිල් ඉකුත් 24 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති අය වැය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක් වෙමින් කරන ලද ප්‍රකාශ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් භික්‍ෂු ගෞරවය ආදී කරුණු සමාජ දේශපාලන අංශ වඩාත් උණුසුම් කිරීමට හේතු විය. ජනාධිපති රනිල්ට අවශ්‍ය වූයේ තමන් ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව සිදු කෙරෙන අරගල අනුමත කරන බවත් එසේ නොමැතිව අරාජිකත්වය හා ප්‍රචණ්ඩත්වය යොදා ගනිමින් කෙරෙන අරගල පොලිසිය හා හමුදාව යොදවා නවත්වන බවත් පැවසීමටය. එසේම පැවිදි පක්‍ෂය යොදා ගනිමින් විරෝධතා දැක්වීමට ඉඩ නොදෙන බවත් විශ්වවිද්‍යාල තුළ වසර අටක් නවයක් රැඳී සිටීමෙන් ගෙන යන විරෝධතා අනුමත නොකළ හැකි බවත් ඔහු පෙන්වා දුන් කරුණු විය. එසේම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව ක්‍රියා කළ වියට්නාමයේ සින්සියම් ගැන ද ඒකාධිපති හිට්ලර් ගැන ද ඔහු සිහිපත් කළේය.

ජනාධිපතිවරයාගේ විවේචනවල පදනමක් තිබේ. එහෙත් ඔහුගෙන් වාග්ලීලාව මෙන්ම ඔහුගේ අනතුරු හැඟවීම් ප්‍රශ්නකාරී බව පෙනේ. මානවහිමිකම් ක්‍රියාන්විතය හා පාලකයන් අතර තිබෙන ගැටුම අපි දනිමු. එහෙත් මානව හිමිකම් යනු මනුෂ්‍යත්වය සාධාරණත්වය මත කෙරෙන මැදිහත්වීම් බවද අප සිහිපත් කළ යුතුය. අපරාධකරුවන්, පාතාලයන් වැනි ප්‍රශ්නකාරී සමාජ දූෂිත චරිත වෙනුවෙන් මානවහිමිකම් රැකිය යුතුද යන්න විවාදිත ප්‍රශ්නයකි. එහෙත් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පතන යොදා ගනිමින් සිදු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවන බව රටම දන්නා කරුණකි. සිවිල් සංවිධාන, නීතිඥයන්ගේ මැදිහත්වීම් හා මානව හිමිකම් ක්‍රියාකාරීන්ට ඒවා අනුමත කළ හැකිද? පොලිසියට තිබෙන විවේචන සුළුපටු නැත. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද පොලිස්පතිට යම් යම් කරුණු ගැන උපදෙස් දී තිබේ.

ඇත්තට ම පොහොට්ටුවට වුවමනා තම බලයත්, තම මන්ත්‍රීවරුන්ගේ සුඛවිහරණයත් බවට තිබෙන විවේචනය පදනම් විරහිත නොවේ. පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල්ගේ ශ්‍රී ලංකා ගමන ගැන ලැබුණු ප්‍රභූ සැලකිල්ල කාටත් පෙනුණි. බලය යනු පාර්ලමේන්තුවේ තිබෙන ඔළුගෙඩි සංඛ්‍යාවේ ශක්තිය යැයි සමහරු කල්පනා කරති. පසුගිය දිනවල ජනාධිපති රනිල් විසින් කරන ලද ඇතැම් ප්‍රකාශ පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ගේ අමන්දානන්දයට හේතු වූ බව නිසැකය. එසේම පොහොට්ටුවේ අත්පොළසන් ලබාගැනීමට වඩා ඔහුගේ අවධානය යොමු විය යුත්තේ අද රටත්, ජනතාවත් මුහුණ දී සිටින අසීරු අර්බුද යම් ප්‍රමාණයකට හෝ ලිහිල් කර දීමටය.

ගාලු මුවදොර අරගලය මෙන්ම ඒ පිළිබඳව ජනාධිපතිගේ ස්ථාවරය අද වෙනස් වී තිබේ දැයි සැක සිතේ. එදා ඔහු පළකළ අදහස් යළි උපුටා දැක්වීමට අවශ්‍ය නැත. එහෙත් ඔහුගේ දේශපාලන මනස, ආකල්ප තුළින් ගම්‍ය වන්නේ ඒ අරගලයේ ගමන් මඟ පිළිබඳ නුරුස්නාවකි. ඔහු දක්වන කරුණු තර්කයට, බුද්ධියට අදාළ විය හැකිය. එහෙත් අද පොලිසිය සාමකාමී අරගල උද්ඝෝෂණ නිර්දය ලෙස මඬින්නට දරන උත්සාහය පැහැදිලිය. ඇත්තට ම ගෝඨාගම රැක ගත යුතු යැයි එදා ඔහු ප්‍රකාශ කර තිබුණි. එහි දේශපාලන කියවීම ඉතා නිවැරදිය. එහෙත් අද පොලිසිය අරගලයේ එක් පාර්ශ්වයක් හඹා යන බව ද අපගේ විවේචනයයි.

ගාලු මුවදොර සාමකාමී අරගලයට පොහොට්ටුවේ කුප්‍රකට මැරයන් කළ පහරදීම් ගැන පොලිසිය දක්වන උදාසීනත්වය වසන් කළ නොහැකිය. එහෙත් ඒ පොලිසිය වසන්ත මුදලිගේ ඇතුළු තවත් අය දෙස බලන්නේ ත්‍රස්තවාදීන් ලෙස දැයි සැක සිතේ.

ජනාධිපති රනිල් විසින් පසුගිය දිනවල සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ ආන්දෝලනාත්මක නිසා ඒවායේ දැඩි ප්‍රහාරාත්මක විලාසය සැඟවිය නොහැක. ඔහු යොදාගත් වචන, ඔහුගේ ආමන්ත්‍රණය සන්සුන් හෝ නිවුණු එකක් ද නොවීය. එයින් සිදුවූ සන්නිවේදනය යහපත් යැයි කිව නොහැක. ප්‍රචණ්ඩත්වය හා සාහසිකත්වය පිළිබඳ මෙරටේ ශිෂ්ට සම්පන්න පුරවැසියන්ට ඇත්තේ දැඩි පිළිකුලකි. අමිහිරි අත්දැකීම්ය. එමතු නොව, ප්‍රචණ්ඩත්වය මෙන්ම සාහසිකත්වය ද කිසිවිටෙක ඔව්හු අනුමත නොකරති. එසේම එබඳු දුෂ්ට අවිචාරශීලී මැදිහත්වීම් මානව වර්ගයාගේ විමුක්තිය උදෙසා හේතු නොවන බව මහත්මා ගාන්ධිතුමන් විසින් ද අවධාණය කරන ලද්දකි. සින්සියම් මෙන්ම හිට්ලර් යනු ලෝකය ම පිටු දකින ලද දුෂ්ට අපරාධකාරයන් දෙදෙනෙකි. සින්සියම් වියට්නාමය ලේ ගංගාවක් කළ බෞද්ධයන් වැනසූ ම්ලේච්ඡයකි. ඇමෙරිකානු රූකඩයක් වූ සිනසියම්ට එරෙහිව බෞද්ධ භික්‍ෂුහු සිරුරට ගිනිතබා ගනිමින් විරෝධය පෑහ. අවසානයේ සින්සියම්ට ද මරණය අත්විය. ඒ හමුදා කුමන්ත්‍රණයකින් ඝාතනයට ලක්වීමකි.

ජනාධිපති රනිල් යනු බෞද්ධ දර්ශනයේත්, බෞද්ධ සාහිත්‍යයේත් විවිධ කරුණු උචිත පරිදි දේශපාලනයට උපුටා දක්වන නායකයෙකි. එබඳු නායකයකුට හිට්ලර් ප්‍රිය විය නොහැකිය. හිට්ලර් පන්නයේ ඝාතන සිදු කළ කිසිවෙක් මෙතෙක් වාර්තාවී නැත. ඔහුට යම් ප්‍රමාණයකින් හෝ සමීප වූයේ ප්‍රභාකරන් පමණක් විය යුතුය. එසේ වුවද හිට්ලර් මෙන් රටක පාලනයක් ගෙන යෑමට උපදෙස් දුන් අවස්ථා ද ඇත. එහෙත් හිට්ලර් යනු මානව සංහතියට ම නිඟා දුන් ම්ලේච්ඡ අපරාධකාරයෙකි. ඔහුට සිදු වූයේ සියතින්ම ජීවිතය විනාශ කර ගැනීමටය. එනිසා ෆැසිස්ට් වාදය ඝාතනය අනුමත නොකරන කිසිවකුට හිට්ලර් හෝ සින්සියම් පන්නයේ පාලනයක් ගෙන ගිය නොහැක.

ජනාධිපති රනිල්ට තවත් විරෝධයක් එල්ල වූයේ ඔහු විසින් අපේ භික්‍ෂූන් වහන්සේ සම්බන්ධයෙන් කරන ලද විවේචනයක් පදනම් කර ගනිමින්ය. පැවිද්දන් අරගලවලට දා ගෙන රට කලබල කරන්න දෙන්නෑ… සිවුරු ඇඳගත් බට්ටන් දාලා මහ නාහිමිවරුන්ට තර්ජනය කරන්න දෙන්න බෑ… යන අවධාරණයන් දෙකම ජනාධිපතිවරයාගේය. භික්‍ෂුන් වහන්සේ යනු බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූවෝය. ගිහියෝ කිසිවිටෙක ඒ භික්ෂූත්වය විවේචනය නොකරති. එහෙත් අද භික්‍ෂූන් වහන්සේගේ ඇතැම් හැසිරීම් ගිහියන්ගේද විවේචනයට ලක්ව තිබෙන බවද රහසක් නොවේ. දේශපාලනඥයන්ට ප්‍රශස්ති ගැයීම, යන්ත්‍ර මන්ත්‍ර වැනි මිථ්‍යා ක්‍රියා කාරකම් ලෙස සමහරුන්ගේ විවේචනයට ලක්ව තිබෙන කටයුතු සිදු කිරීම වැනි දේවල් භික්‍ෂුත්වයෙහි ගෞරවයට හානි සිදුකරයි. ඒවාට කෙබඳු විවේචන තිබුණත් බොහෝ විට බෞද්ධයන් බෞද්ධ සංස්කෘතියට දක්වන ගෞරවය නිසා ඒවා උපේක්‍ෂාවෙන් බලන බවද අපි දනිමු. එහෙත් රාජ්‍ය නායකයා ලෙස ඒ භික්‍ෂූත්වය විවේචනය කිරීම ප්‍රශ්නකාරී වේ.

ජනාධිපතිවරයා තමන් තුළ වූ අප්‍රසාදය මුදා හැරීම සඳහා යොදාගත් පැවිද්දන් ‘සිවුරු ඇඳගත් බට්ටන් ’වැනි යෙදුම් අනුචිතය. චීවරධාරීන් ලෙස ඒ අය හැඳින් වූයේ නම් මේ විවේචන එල්ල නොවීමට ද ඉඩ තිබුණි. විපක්‍ෂ නායක සජිත් මේ පිළිබඳව අගනා ප්‍රබුද්ධ උපදේශයක් උපුටා දක්වා තිබුණි. එනම් බොහෝ තැන්වල විදග්ධ ඍෂිවරුන් ද දිසා පාමොක්වරුන් ද විසින් අවධාරණය කරන ලදුව සමාජ සම්මතයට පත්වූ අදහසක.ි කිසිවිටෙක කුඩා යැයි නොසැල කිවයුතු කරුණු හතරක් ඇත. ඒවා නම් ගින්න, සර්පයා, භික්‍ෂුව හා රාජකුමාරයා යන වස්තූන්ය. කුඩා වුවත් ගින්න මහ අනතුරකට හේතු විය හැකිය. සර්පයා ද කුඩා වුවත් විෂ සාහිතය. භික්‍ෂුව ද සාමනේර වුවත් ගරු කළ යුතුය. රාජකුමාරයා ද එසේමය. පැරැණ සමාජය විසින් ශිෂ්ටාචාරයට එක් කරන ලද ඒ සම්මතයන් බිඳ දැමීම හෝ ඒවාට උඩින් පැනීම විශේෂයෙන් රාජ්‍ය නායකත්වයකට හෝ සමාජයේ පිළිගත් කවර හෝ පාර්ශ්යකට සුදුසු නැත.

මෙරටේ භික්‍ෂූන් වහන්සේ සම්බන්ධයෙන් ජනතා විරෝධය එල්ල වූ අවස්ථා ද විය. එදා බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් භික්‍ෂූන් දෙනමකට චෝදනා නැඟුණි. අගමැතිවරයාට වෙඩි තබන ලද්දේ සෝමාරාම නමැති භික්‍ෂුවකි. එදා ඇතිවූ සමාජ විරෝධය දුටු බණ්ඩාරනායක අගමැතිවරයා කියා සිටියේ සිවුරු දරාගත් පුද්ගලයකු අවාසනාවන්ත ලෙස තමන්ට වෙඩි තැබූ බවය. ජනතා විරෝධය එයින් අඩුව ගියේය. පසුව එහි විත්තිකරුවකු වූ මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් නිසා ද ප්‍රශ්න මතු විය. එහෙත් ඒ සියල්ල දුර දිග ගියේ නැත. මේ නිසා දේශපාලනඥයන් මෙන්ම සමාජය ද භික්‍ෂූන් වහන්සේ සම්බන්ධව ප්‍රකාශ කිරීමේ දී ප්‍රවේශම් විය යුතුය. චීවරයේ ගෞරවය ආරක්‍ෂා කර දීම ද භික්‍ෂු සංඝයා වහන්සේගේ වගකීම බවද අපට කිව හැකිය.

අය – වැය විවාදයේ දී මතු වූ තවත් අභියෝගාත්මක කරුණක් ද විය. ඒ දෙමළ ජනතාවගේ තිබෙන සමාජ ප්‍රශ්නයට විසඳුමක් ලබාදිය යුතුය යන යෝජනාවය. දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරයකු වන සුමන්දිරම් මෙයට දැඩි අවධානයක් දැක්වීම මෙන්ම ඔහු විසින් ඒ සම්බන්ධව පළකරන ලද ඇතැම් කරුණු ගැන ද ප්‍රවේශමින් සලකා බැලිය යුතුය. මෙය ජාතික සමගියට මෙන්ම රටේ අනාගතයට ද අදාළ බැරෑරුම් කරුණක් ද වේ. මේ අර්බුදයට උඩගෙඩි දුන් අය ද උතුරේ මෙන්ම දකුණේත් සිටිති. එය සරල සිල්ලර ප්‍රශ්නයක් ලෙස ලඝු නොකළ යුතු බව සමහරු දැනටමත් ප්‍රකාශ කරති. එය කිසිවකුගේ සිත් නොබිඳෙන අයුරින් ද ජාතික සංස්කෘතික උරුමයන් සුරැකෙන අයුරින් ද සිදු කළ යුතුය. සියලු දේශපාලන පක්‍ෂ, ආගමික නායකයන් මෙන්ම සියලු ජනකොටස්වල බහුතරයකින් ද ඒවා අනුමත වීම අතිශය වැදගත්ය. ඇත්ත වසයෙන්ම එය දැලි පිහියෙන් කිර කෑමක් බවට සමහරුන් කරන විග්‍රහය ද සාධාරණය. එනිසා හා… හා… බලාගෙනයි කියන්නාක් මෙන් මෙහිදී ප්‍රබුද්ධ නිවැරදි සංවාදයක්ද ගොඩ නැඟිය යුතුය. ඒ සඳහා පුළුල් කතිකාවක් අත්‍යවශ්‍ය යැයි ද සමහරු දැනටමත් යෝජනා කරති. කුමක් වුවත් මේ ආර්ථික හා දේශාපලන අර්බුදවලට විසඳුමක් සොයා රට ස්ථාවර කිරීමෙන් පසු ඒ පොදු ජාතික ප්‍රශ්නය පිළිබඳ නිගමනයකට පැමිණීම වඩාත් උචිත බවද පෙන්වා දිය යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment