අරක්කු නිසා මිනිස්සු මිය යන්නේ ඇයි? රජයේ වියදම් වැඩිවන්නේ කාගේ වරදින්ද ?

364

අරක්කු නිසා දිනකට මියයන පිරිස 50 ඉක්මවයි. පැයකට වියදම රුපියල් කෝටි දෙකයි. සුමිහිරි පානයේ තිත්ත ඇත්ත මෙන්න යනුවෙන් ලිපියක් පසුගිය මස දසවන (10) දින දිවයින ඉරිදා සංග‍්‍රහයේ පළ වී තිබුණි. හුදෙක් එම ලිපිය මගින් අනාවරණය කර තිබුණේ දත්ත කිහිපයක් මත පදනම් වූ සුළු කරුණු කිහිපයක් පමණි. අවම වශයෙන් එම දත්ත කෙලෙස කොහෙන් ලබාගත්තාද යන්න පිළිබඳවත් සඳහන් කර නොතිබුණි.මේ එම ලිපියට ඌණ පූර්ණයකි.

මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතාද එම ලිපිය සඳහා ‘‘ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගෙන තියෙනවා මත්පැන් පිළිකාකාරකයක් කියලා. මේවා පානය කිරීමෙන් මිනිසුන් මිය යනවා. රටේ ආර්ථිකයට බලපෑම් එල්ල වෙනවා. මත් වතුර පාවිච්චි කරන පුද්ගලයන් මේ දේවල් පිළිගන්න සූදානම් නැහැ.” යනුවෙන් අදහස් දක්වා තිබුණි. මෙරට වැදගත් ආයතනයක තනතුරක් දරන එවැනි පුද්ගලයෙකුගෙන් මෙවැනි කතාවත් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකිය. පාසල් සිසුවකුට වුවද කිසිදු අපහසුතාවකින් තොරව එවැනි ප‍්‍රකාශයක් සිදු කළ හැකිය. සභාපතිවරයා එවැනි වගකීම් විරහිත කතාවක් පැවසුවේ කුමක් අරමුණු කරගෙනද යන්න අපි පැහැදිලිව නොදන්නෙමු. ඔහුට තිබුණේ මත්පැන් පිළිබඳව මෙරට ඇති ගැටලූ හඳුනාගෙන එයට ප‍්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීම සහ ඒවා සමාජගත කිරීමයි. ඒ අනුව මෙම කතිකාවතේදී පළමු සිදුකළ යුතුයව තිබුණේ මත්පැන් කර්මාන්තය පිළිබඳ නිවැරදි තොරතුරු හඳුනා ගැනීම සහ එම කර්මාන්ත ආශි‍්‍රත ගැටලූ සහ දුර්මත හඳුනාගෙන නිවැරදි ලෙස ඒවා සමාජගත කිරීමයි. එහෙත් එසේ සිදුවී නොතිබුණි. තවද මේ සඳහා වගකීවයුතු නිලධාරීන් සහ ආයතන තම කාර්ය භාරයක් නිසියාකාරව සිදු කරනවා ද යන්න පිළිබඳව ද සොයා බැලිය යුතුය. පෙනී යන ආකාරයට මෙරට මත්පැන් කර්මාන්තය පිළිබඳව නියාමනය සහ ප‍්‍රතිපත්තිමය තීරණ ආදිය ගන්නා ආයතන සහ නිලධාරීන් තම කාර්යභාරය නිසි ආකාරව සිදු නොකරති. පසුගිය සතියේ පළවූ ලිපි අනුව ද එය මනාව තහවුරු වේ. එම ලිපිය මගින් මත්පැන් කර්මාන්තය ආශ‍්‍රිත ප‍්‍රධාන ගැටලූ සහ ප‍්‍රමුඛතා හඳුනාගෙන නොමැති අතර ඒවා විසඳීම සඳහා ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ග ද ඉදිරිපත් කර නොතිබිණි. හුදෙක්ම එම ලිපිය මගින් අනාවරණය කර තිබුණේ ඒයට අදාළ නිලධාරීන්ගේ සහ ආයතනවල වැරදි නොව බීමත් ජනතාවගේ වැරදි පමණි. එමනිසා මෙම ගැටලූව විසඳීමට සභාපතිවරයාගේ එම අදහස් කිසිසේත් කලානුරූපිත නොවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය තත්ත්ව වාර්තා ඇසුරෙන් මෙරට මත්පැන් කර්මාන්තය ආශ‍්‍රිත ප‍්‍රවණතා හඳුනාගෙන අදාළ ආයතන සහ නිලධාරීන් ක‍්‍රියා කළහොත් මත්පැන්වලින් මෙරට ආර්ථිකයට සහ මිනිසුන්ට සිදුවන හානිය අවම කරගත හැකිවේ. එම සංවිධානයේ වාර්තා සැකසී ඇත්තේ මත්පැන් නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා සියලූ කරුණු කාරණාවලින් සංක්ෂිප්තවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2003 සහ 2018 ගෝලීය තත්ත්ව වාර්තාවන් පෙන්වා දෙන පරිදි අදාළ කාලසීමාව තුළ මෙරට මත්පැන් පරිභෝජනය 95% කින් ඉහළ ගොස් තිබේ. කලාපයේ අන් රටවල්වල එම අගය 55% කි. ආසියාතික කලාපයේ අනෙකුත් රටවල් සමග සැසඳීමේදී එය ඉහළ අගයකි. ඒ අනුව එම රටවලට වඩා මෙරට මත්පැන් පරිභෝජනය ඉහළ අගයක් ගනිමින් පවතී. මත්පැන් පරිභෝජනය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සොයාගෙන ඇති තවත් වැදගත්ම කරුණක් වන්නේ මෙරට සමස්ත මත්පැන් පරිභෝජනයෙන් 37% ක්ම නීති විරෝධී මත්පැන් බවයි. ඒ අනුව බලන කල මෙරට සමස්ත මත්පැන් පරිභෝජනය නියාමනය වන්නේ 63% ක් පමණි. තවද 2003 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා කාලය තුළ නීත්‍යානුකූල නොවන මත්පැන් 300% ක වේගයකින් වර්ධනය වී ඇති අතර නීත්‍යනුකුල මත්පැන් 50% කින් වර්ධනය වී තිබේ. මේ අනුව ගත් කල මෙරට නීති විරෝධී මත්පැන් කිසිසේත්ම නියාමනයක් සිදු නොවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම තොරතුරුවලට අනුව හැඟී යන්නේ සමස්තයක් වශයෙන් මෙරට නීති විරෝධී මත්පැන් පරිභෝජනය අධික ලෙස වර්ධනය වී ඇති බවයි. එලෙස නීති විරෝධී මත්පැන් පරිභෝජනය ඉහළ යන තුරු වගකිවයුතු නිලධාරීන් සහ ආයතන කුමක් සිදු කළාද යන්න පිළිබඳව අපට පැන නැගෙන්නේ මහත් ගැටලූවකි. එපමණක් නොව මෙම තත්ත්වය නිසා ආර්ථික වශයෙන් රජයට ද සමාජිය වශයෙන් ජනතාවට ද විශාල පාඩුවක් සිදු වී තිබේ. උදාහරණයක් ලෙස ගත් කල මෙරට මත්පැන් පරිභෝජනයෙන් 37% ක්ම නීති විරෝධී මත්පැන් වේ. එම මත්පැන් වලින් ලැබෙන බදු ආදායම සම්පූර්ණයෙන්ම රජයට අහිමි වෙයි. එපමණක් නොව එම මත්පැන් නිෂ්පාදනය කරනුයේ නිසි ප‍්‍රමිතියකින් නොවන නිසා මිනිස් සිරුරට ද ඉතා අහිතකර වේ. එවැනි මත්පැන් පානය කරන මිනිසුන් ලෙඩ වීමේ ප‍්‍රවණතාවය ද ඉතා ඉහළයි. එම නිසා එවැනි මත්පැන් පානය කිරීමෙන් අසනීප වන මිනිසුන්ට ද සෞඛ්‍ය සේවා සපයන්නේ රජය විසින් නොමිලේය.

නීත්‍යානුකූල නොවන මත්පැන් වලින් කිසිදු ආදායමක් නොලබා ඒවා පානය කර අසනීප වන පුද්ගලයින්ට නොමිලේ ප‍්‍රතිකාර කිරීමේදී රජයට විශාල වියදමක් දැරීමට සිදුවේ. සෞඛ්‍ය දර්ශකවලට අනුව එවැනි රෝගීන් ද ගණනය වන්නේ නීත්‍යානුකූල මත්පැන් පානය කරමින් රෝගීවු අය බවටයි. ඒ අනුව මත්පැන් වලින් ලබන ආදායමට වඩා වැඩි වියදමක් ඒවා භාවිත කරන පුද්ගලයන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරන බවට සමහරු රජයට චෝදනා එල්ල කරති. එලෙස රජයට පවා චෝදනා එල්ල වනුයේ අදාළ නිලධාරීන් සහ ආයතන මෙරට නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක නොකරන නිසාය. තවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව මත්පැන් භාවිතා කරමින් වැඩිපුර රෝගී වන්නේ ප‍්‍රමිතියකින් තොර නීතිවිරෝධී මත්පැන් පානය කරන පුද්ගලයින්ය. අදාළ ආයතනවල වගකීම පැහැර හැරීම නිසා නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ යෑමෙන් මත්පැන් ආශි‍්‍රත සෞඛ්‍ය දර්ශක සියල්ලක්ම අසුබවාදී බවක් ද පෙන්නුම් කරයි. ඉදිරියේදීවත් මෙම ආයතන නිසි ලෙස කටයුතු සිදු නොකළහොත් නීති විරෝධී මත්පැන් නීත්‍යානුකුල මත්පැන් අභිබවා වර්ධනය වේ. සුරාබදු දෙපාර්තමේන්තුව, මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය වැනි ආයතන මෙරට මත්පැන් කර්මාන්තය නියාමනය කිරීම සඳහා දැනට භාවිතා කරන ක‍්‍රියාමාර්ග කාලෝචිත නොවේ. එයට උදාහරණ බොහෝ තිබේ. නීත්‍යානුකූල මත්පැන් මත බදු වැඩි කිරීම හරහා මිලදී ගැනීමේ හැකියාව අවම කිරීම එයට එක් උදාහරණයකි. ඔවුන් සිතනුයේ එලෙස මිල වැඩි කළ පසු මත්පැන් පරිභෝජනය කරන පිරිස් අඩුවනු ඇතැයි කියාය. කිසිසේත් එසේ සිදු නොවනු ඇත. එයින් සිදු වන්නේ නීත්‍යානුකූල මත්පැන් වල මිල වැඩිවීම නිසා නීත්‍යානුකූල නොවන මත්පැන් පානය කිරීම සඳහා මිනිසුන් පෙළඹීමයි.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත මගින් නීත්‍යානුකූල මත්පැන් ප‍්‍රචාරණය අවම කිරීමක් ද සිදු කරමින් පවතී. එමගින් ඔවුන් බලාපොරොත්තු වනුයේ මත්පැන් භාවිතය අවම කිරීමයි. මෙලෙස ප‍්‍රචාරය අවම කිරීම මගින් කිසි දිනක මත්පැන් පානය අවම කිරීමක් සිදු කර ගත නොහැකිය. උදාහරණයක් ලෙස ගතහොත් රූපවාහිනියේ විකාශය වන නාට්‍යයක මත්පැන් පානය කරන දර්ශනයක් එම අධිකාරියේ නීති රීති වලට අනුව සම්පූර්ණ වශයෙන් පෙන්විය නොහැකිය. එය පෙන්විය හැක්කේ බොඳ කර හෝ කොටු දමාය. එවැනි දර්ශනයක් දුටුවිට සමහරුන්ගේ සිත් තුළ විශේෂයෙන්ම ළමුන්ගේ මත්පැන් පිළිබඳ කුතුහලයක් ඇති වේ. එම නිසා එම පිරිස් ද මත්පැන් පානය කිරීමට නැඹුරුතාවක් දක්වති. එම නිසා මෙවැනි ක‍්‍රම මගින් මත්පැන් පරිභෝජනය අඩු කිරීමට කිසිසේත් නොහැකිය. තවද මෙයින් මනාව පැහැදිලි වන්නේ රජයේ වගකිව යුතු මෙම ආයතන මත්පැන් නියාමනය කිරීම සඳහා ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ නීත්‍යානුකූල මත්පැන් සඳහා පමණක් බවයි. එම නිසා මෙරට නීත්‍යානුකූල නොවන මත්පැන් ශීඝ‍්‍ර ලෙස වර්ධනය වෙමින් පවතී. මෙයින් රජයට සිදුවන හානිය සුළු පටු නොවේ. එයට එක් උදාහරණයක් ලෙස දැක්විය හැක්කේ කෘතිම රා නිෂ්පාදනය හරහා රජයට පාඩුව රුපියල් බිලියන 80 ක බදු මුදල්ය. දිගින් දිගටම මේ පිළිබඳ අවධාරණය කළත් රජයේ වගකිවයුතු නිලධාරීන්ගේ සහ ආයතනවල නිසි අවධානය මෙයට යොමු නොවුණි. ඉහත සඳහන් කළ කරුණු ගැන සලකා බැලීමේදී මෙරට මත්පැන් කර්මාන්තය ආශ‍්‍රිතව ඇති ප‍්‍රධාන ගැටලූව වන්නේ නීත්‍යානුකූල නොවන මත්පැන් නියාමනය නොවීම බව පැහැදිලිව පෙනේ. තවද ඒ සම්බන්ධයෙන් රජයේ මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිසි අවධානයක් යොමු නොවී ඇති බවද පැහැදිලිව පෙනේ. මේ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ඉක්මනින් සැකසිය යුතුය. එසේ නොවුණහොත් රජයට බරපතළ ගැටලූවකට මුහුණ දීමට සිදුවේ.

මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා දැනට පවතින මත්පැන් නියාමන ක‍්‍රමවේදයන් කිසිසේත්ම සුදුසු නොවේ. ඒ සඳහා සුදුසු නව ක‍්‍රමවේදයක් ඉතා ඉක්මනින් හඳුන්වා දිය යුතුව ඇත. එයට එක් උදාහරණයක් ලෙස දැක්විය හැක්කේ මත්පැන් මත බදු වැඩි කිරීමයි. එලෙස මත්පැන් මත බදු වැඩි කිරීම මේ සඳහා කිසිසේත් අනුමත කළ නොහැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පවසනුයේ නීතිවිරෝධී මත්පැන් අධික රටවලට එම ක‍්‍රමය කිසිසේත් නුසුදුසු බවයි. පුදුමයට කරුණ වන්නේ මෙරට නිලධාරීන් එය පිළිනොගැනීමයි.

ආචාර්ය අජන්තා හපුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment