අරගලකරුවන්ට පහරදීම නොවැළැක්වීම දේශබන්දුට එරෙහි පෙත්සම ඉවතට

103

ගාලුමුවදොර පිටියට කඩාවැදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් අරගලකරුවන්ට සිදු කළ පහරදීම් වළක්වා ගැනීමට නිසි පියවර නොගත් බවට චෝදනා එල්ල වී ඇති බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා නීතිඥ රාමලිංගම් රන්ජන් මහතා ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම අභියාචනාධිකරණය ඊයේ (27 දා) ගාස්තුවට යටත්ව ප්‍රතික්ෂේප කළේය.

එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් හමුවේදී කැඳවිණි.

2022.05.09 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, එවකට අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පක්ෂයේ ඉහළ ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමකින් අනතුරුව පොලු මුගුරු රැගෙන පෙළපාලියකින් ගොස් ගාලු මුවදොර පිටියේ රැඳී සිටි නිරායුධ අරගලකරුවන්ට පහරදී ඇති බව එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට හමුවේ පැවසීය. එම අවස්ථාවේදී භූමියේ රැඳී සිටි ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම අමානුෂික පහරදීම් වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීමෙන් ඔහු රාජකාරි වගකීම් හා යුතුකම් පැහැර හැර ඇති බැවින් ඔහුව අනිවාර්ය නිවාඩු යැවීමට හෝ වැඩ තහනම් කිරීමට නියෝගයක් කරන්නැයි ද ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

සිය සේවාදායකයා පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දුන් පරිදි කිසිදු ආකාරයකින් රාජකාරි වගකීම් පැහැර හැරීමක් සිදු කර නොමැති බවත් ඔහුගේ ක්ෂණික මැදිහත්වීම නිසා එයට වඩා බරපතළ ලෙස සිදුවීමට තිබූ ගැටුමක් සමනය කර ගැනීමට හැකි වූ බවත් අධිකරණයට පෙන්වා දී තිබූ දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙන්වා දුන් කරුණුවල කිසිදු සත්‍යතාවක් නොමැති බැවින් එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප්‍රතික්ෂේප කළේය.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා, දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment