අරගලකරුවන්ට පෙර උද්ධමනය මර්දනය කරමු! දේශපාලන අවලාදවලට මහ බැංකු අධිපතිගෙන් පිළිතුරු…

263
මෙතෙක් කලක් උද්ධමනය දිගින් දිගටම ඉහළ ගිය අතර එම උද්ධමනය අධි උද්ධමන තත්ත්වයක් කරා යෑමේ අවදානමක් තිබිණි. අප දැනටමත් ජීවත් වන්නේ ඉතා අමාරුවෙන් බව ඇත්තය. එහෙත් උද්ධමනය පාලනය කර ගැනීමට අසමත්ව අධි උද්ධමනයකට ගියා නම් අපට මෙහෙමවත් ජීවත් වීමට ලැබෙන්නේ නැත. ව්‍යාපාර පවා කරගෙන යෑමට අපහසු තත්ත්වයක් ඇති වේ. කෙසේ හෝ උද්ධමනය මර්දනය කර ගැනීම සඳහා මහ බැංකුව පියවර ගන්නා ලදී. එහි ප්‍රධාන පියවර වූයේ පොලී අනුපාත වැඩි කිරීමයි. ඒ අනුව උද්ධමනය ඉහළ ගිය ප්‍රවණතාවට සාපේක්ෂව මහ බැකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත වැඩි කරන ලදී. එහෙත් මේ උද්ධමන ප්‍රවණතාව මේ වන විට වෙනස් වී ඇත. එනම් පසුගිය ඔක්තෝබර් මස උද්ධමනය අඩු වීමට පටන් ගෙන ඇත. ඒ අනුව ඉදිරියේ දී මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමට පියවර ගැනීමත් සමග වෙළෙඳපොළ පොලී අනුපාත ද ක්‍රමයෙන් අඩු වනු ඇතැයි සිතිය හැකිය. ඒ සඳහා තව කල් තිබේ.

මේ අනුව 2021 ඔක්තෝබර් මාසයේ සිට ඉහළ යෑමේ ප්‍රවණතාවක් අනුගමනය කරන ලද ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 73.7හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 70.6ක් දක්වා පහළ ගියේය. එසේම, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 85.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 80.9 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 62.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 61.3 දක්වා පහළ ගියේය. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ද ඔක්තෝබර් මස උද්ධමනය අඩු වී ඇත. මේ අනුව දිගින් දිගටම වැඩිවෙමින් පැවති උද්ධමන ප්‍රවණතාව වෙනස් වී ඇති බව අපට පැහැදිලි වේ. මේ අතර අප සිහි තබා ගත යුත්තේ උද්ධමනය අඩු වීම යනු බඩු මිල අඩු වීම නොව බඩු මිල ඉහළ යෑමේ වේගය අඩු වීම බවයි. මේ නිසා උද්ධමනය අඩු වූවද කලින්ට වඩා අඩු වේගයකින් තවදුරටත් බඩු මිල ඉහළ යමින් තිබේ.

● පොලී අනුපාත වෙනස් නොවේ

මහා බැංකුවේ මුදල් මණ්ඩලය සෑම මසකම රැස් වී මූල්‍ය ප්‍රතිපත්තියට අදාළ තීරණ ගනී. පවතින පොලී අනුපාත සම්බන්ධ තීරණ ද ඒ සමගම ගනු ලබයි. මේ අනුව මාසිකව මහ බැංකුව මුදල් මණ්ඩල තීරණය ප්‍රකාරව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත ගැන තීරණයක් ගනී. ඒ සිය ප්‍රතිපත්ති පොලී අනුපාත වැඩි කරනවා ද අඩු කරනවා ද එසේත් නැත්නම් නොවෙනස්ව පවත්වාගෙන යනවා ද යන්නයි. ඒ අනුව මෙවර ගත් තීරණය ගැන මහා බැංකුව මෙසේ කියයි.

“දේශීය හා ගෝලීය ආර්ථිකයේ මෑත කාලීන හා අපේක්ෂිත ප්‍රවණතා සහ සාර්ව ආර්ථික පුරෝකථන සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 නොවැම්බර් මස 23 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. මැදි කාලීනව උද්ධමනය සියයට 4-6 ඉලක්කගත මට්ටම දක්වා මෙහෙයවීම සඳහා උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ අපේක්ෂා වර්ධනය කිරීමට තවදුරටත් සහාය වෙමින් ආර්ථිකයේ ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන පාලනය කිරීමට දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වාගෙන යෑම අවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය. මේ අනුව මහ බැංකුවේ තීරණය වී ඇත්තේ උද්ධමන පීඩනය පාලනය කිරීමට තවදුරටත් දැඩි මුදල් ප්‍රතිපත්තියක් පවත්වාගත යුතු බවයි. මේ අනුව පවතින ඉහළ පොලී අනුපාත අඩු කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී මහ බැංකුව තීරණ ගැනීමත් සමග වෙළෙඳපොළ පොලී අනුපාත ද ක්‍රමයෙන් අඩුවනු ඇත. එය ඉදිරියේ දී වන දෙයකි. ඔබගේ මුදල් ආයෝජන තීරණ සම්බන්ධයෙන් මේ ආර්ථික තත්ත්වයන් ද නිරන්තරයෙන්ම බලපානු ලබන නිසා ඔබ මේ ගැන අවධියෙන් සිටීම ඉතා ප්‍රයෝජනවත්ය.

● මහ බැංකු අධිපතිගේ වැටුප

වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රුපියල් ලක්ෂ 25 ක මාසික වැටුපක් මහ බැංකුවෙන් ලබා ගන්නා බවත් එසේම ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද විශ්‍රාම වැටුපක් ලබා ගන්නා බවටත් පසුගිය කාලයේ දී දේශපාලඥයන් කිහිප දෙනකුම අවස්ථා කිහිපයකදී ප්‍රසිද්ධියේ සඳහන් කරනු දක්නට ලැබුණි. මේ ගැන බොහෝ දෙනෙක් අපගෙන් ද විමසනු ලැබිණි. අප ඔවුන්ට කීවේ එය විය නොහැකි දෙයක් බවයි.

එය නිවැරදි නොවන බව මේ ලියුම්කරු දැන සිටියත් ඒ බව මහ බැංකු අධිපතිවරයාම රටට පැහැදිලි කිරීම වඩාත් සුදුසු බව අපගේ හැඟීම විය. එහෙත් ඔහු මෙතෙක් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි. මේ නිසා පසුගිය බ්‍රහස්පතින්දා (24දා) මහ බැංකුවේ පැවති මාසික මාධ්‍ය හමුවේ දී මේ ගැන ප්‍රශ්න කිරීමට මම තීරණය කර සිටියෙමි. ඒ අනුව එදින මාධ්‍ය හමුවේ දී මේ ලියුම්කරු මේ ගැන කෙළින්ම ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ප්‍රශ්න කළේය. වත්මන් මහ බැංකු අධිපතිවරයා සාමාන්‍යයෙන් දේශපාලන අවලාදවලට පිළිතුරු දීමට යන්නේ නැත. එහෙත් මාධ්‍යවේදියෙකු වශයෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙන බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එදින (24දා) මාධ්‍ය හමුවේ දී එම සියලු චෝදනා අසත්‍ය ඒවා බව තරයේ කියා සිටියේය. මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රතිචාරය මෙසේය.

මම දැක්ක සමහර දේශපාලනඥයො යටිගිරියෙන් කෑගහගෙන ඔය කතාව කියනවා. මම වගකීමෙන් කියන්නේ පළමුවෙන්ම ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඉතාම කනගාටුයි රටේ වගකිව යුතු දේශපාලනඥයො මේ වගේ බොරු ප්‍රකාශයක් කවුරුහරි කිව්වම ඒක ඇත්ත කියල හිතල එහෙම හැමතැනම ප්‍රකාශ කිරීම. මම ඒවාට උත්තර දෙන්නේ නැහැ. හැබැයි ඔබතුමා (මේ ලියුම්කරු) මාධ්‍යවේදියෙක් ලෙස ඒ ප්‍රශ්නය අහපු නිසා මට පිළිතුරු දෙන්න සිදු වෙනවා.

පළවෙනි කාරණය මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිම විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපේ මහ බැංකුවෙන් යම්කිසි ආකාරයකට ගියේ රට නියෝජනය කිරීම සඳහා. හැමෝටම ලැබුණු වැටුප මට ලැබිලා තියෙනවා. නමුත් මම පැහැදිලිව කියනවා මට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. එසේම මට ලක්ෂ 25ක වැටුපක් මහා බැංකුවෙන් ලැබෙනවා කියන කතාවත් සම්පූර්ණ බොරුවක්. මම මහ බැංකුවේ අධිපති විදියට, මහ බැංකුවේ විශ්‍රාම ගිය නිලධාරියෙක් විදියට අවුරුදු 29 ක් සේවය කරලා ලැබෙන විශ්‍රාම වැටුප මට ලැබෙනවා. මහ බැංකු අධිපති විදියට මම ආවා. මෙතෙක් කල් හිටිය හැම අධිපතිවරයාටම ලැබෙන යම්කිසි වැටුපක්, වාහනයක්, නිල නිවසක් ලැබෙනවා නම් මට ලැබෙන්නේත් ඒකම තමයි. මහ බැංකු අධිපති වශයෙන්, රජයේ නිලධාරියෙක් වශයෙන් මම කියන්න ඕනේ, මහ බැංකු අධිපති වශයෙන් මට ලැබෙන වැටුප මාසෙකට ලක්ෂ 4යි. මට ලැබුණු විශ්‍රාම වැටුප ලැබෙනවා.”

අරගලකරුවන්ට පෙර උද්ධමනය මර්දනය කරමු! දේශපාලන අවලාදවලට මහ බැංකු අධිපතිගෙන් පිළිතුරු...

වත්මන් මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥන්ගේ පසුගිය දිනවල යටිගිරියෙන් කෑගසමින් නැගූ පහත් පෙළේ දේශපාලන අවලාදවලට දැන් මහ බැංකු අධිපතිවරයාගෙන්ම රටට, මහජනයාට පිළිතුරු ලැබී ඇත.

● මහ බැංකු අධිපතිගේ විශ්‍රාම වැටුප

එම මාධ්‍ය හමුවේ දී එම ප්‍රශ්නයට පිළිතුරු ලැබීමෙන් පසුව මේ ලියුම්කරු ඇසූ තවත් ප්‍රශ්නයක් වූයේ ඔබ මහ බැංකු අධිපතිවරයා ලෙස විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට අදහස් කරනවා ද යන්නයි. එය ද ඔහු ප්‍රතික්ෂේප කළේය. මහ බැංකු අධිපති ලෙස කටයුතු කරන කෙටි කාලයට විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට තමා අදහස් නොකරන බව සහ ලැබුණත් එය තමා ප්‍රතික්ෂේප කරන බවත් සහතිකවම ප්‍රකාශ කරන බව ද ඔහු ඊට පිළිතුරු ලෙස කියා සිටියේය. මේවා දැනටමත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනයා අසා ඇත. මේ නිසා මේ කාරණා දෙක ගැන මේ රටේ මහජනයාට යම් කිසි කුකුසක් ඇති වූවා නම් ඒ සැක සංකා දැන් දුරුව යන්නට ඇතැයි ද අපට සිතේ. නන්දලාල් වීරසිංහ අසමත් කිරීමෙන් රටට හෝ ජනතාවට කිසිම සෙතක් නොලැබේ.

● රට පළමුව සිතා කටයුතු කරමු

මූලිකවම කිව යුත්තේ මේ මොහොතේ පක්ෂ දේශපාලනයෙන් මඳකට හෝ බැහැර වී රට වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ ගැනීම සඳහා රට ගැන පළමුව සිතා කටයුතු කිරීම ඉතාම වැදගත් බවයි. එහෙත් රජය වැරදි ලෙස කටයුතු කරනවා නම් එම රජයේ වැරදි සහ අඩුපාඩු ගැන විවේචන සහ විරෝධතා දැක්වීමේ අයිතිය විරුද්ධ පක්ෂ නියෝජිතයන්ට තිබේ. විරෝධතා ක්‍රියාමාර්ග නිසා මෙන්ම සාධාරණ විරෝධතා ක්‍රියාමාර්ග අනිසි ලෙස ඒවා දැඩිව මර්දනය කිරීමට යෑමෙන් ද ආර්ථික අගාධයෙන් ගොඩ ගැනීම සඳහා වන ක්‍රියාවලියට බාධා සිදුවිය හැකිය. ජනපතිගේ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් අපට විවේචනයක් තිබුණත් පසුගිය යහපාලන රජය සමයේ දී සිදු වූ බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් ද අපට විවේචන තිබුණත් මෙවැනි මොහොතක රනිල් වික්‍රමසිංහ ෆේල් කිරීමෙන් ද රටට සෙතක් නොවේ. දේශපාලනය අපට පසුව කළ හැකිය. මුලින්ම රට පළමුව සිතා රට වැටී තිබෙන ආර්ථික අගාධයෙන් රට කිසියම් මට්ටමකට ඔසවා ගැනීමට අප සියලු දෙනාම දායක විය යුතුව ඇත. නිසැක වශයෙන්ම මහජන වරමක් නැති මේ රජයේ ක්‍රියාකලාපය ගැන අපට ප්‍රශ්න තිබේ. එය වෙනම කතාවකි. එහෙත් ඉදිරියේ මැතිවරණයක් එන තෙක් පවතින රජය සමග එක්ව රට වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ ඒමේ ක්‍රියාවලියට අප දායක විය යුතුව තිබේ.

● නන්දලාල් වීරසිංහගේ භූමිකාව

විදේශගතව සුවපහසු දිවියක් ගත කිරීමට තවදුරටත් ඉඩ තිබුණත් රට අමාරුම තත්ත්වයට වැටී ඇති මොහොතක නව මහ බැංකු අධිපති ලෙස පත්ව මේ ආමාරු සහ දුෂ්කර අභියෝගය භාර ගැනීම ගැන අපටත්, මේ රටේ ජනයාටත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ගැන විශාල ගෞරවයක් තිබේ. ඒ ගෞරවය කෙලෙසා ඔහුට මඩ ගසා ඔහුට අසත්‍ය දේශපාලන අවලාද නගා ඔහුව අසමත් කර ඔහුව ඒ තනතුරින් පන්නා දැමීමට ඇතැමුන්ට අවශ්‍ය බවක් ද පෙනෙන්නට තිබේ. මෙය කනගාටුවට කරුණකි. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අප දන්නේ ඉතා දීර්ඝ කාලයක සිටය. ඔහුත් සමග මාධ්‍යවේදියෙකු වශයෙන් වඩා සම්බන්ධ වී අපට කටයුතු කිරීමට ඉඩ ලැබුණේ ඔහු මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කාලයේ දීය. පුද්ගලයෙකු ලෙස ඔහුට කැමති සහ අකැමැති අය සිටිනවා විය හැකිය. එහෙත් අප දන්නේ නම් ඔහු ඉතා දක්ෂ කාර්යශූර නිලධාරියෙකු ලෙසය. ඔහු ඒ බව මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ පසුගිය කෙටි කාලයේදී ද තහවුරු වන පරිදි කටයුතු කර තිබේ. ඉදිරියේ දී මේ බලවත් ආර්ථික අගාධයෙන් රටත්, ජනතාවත් ගලවා ගැනීම සඳහා ඔහුගේ නායකත්වයෙන් මහ බැංකුව කටයුතු කරන ආකාරය දෙස මෙන්ම රජය ක්‍රියාකරන ආකාරය දෙසත් අප ඉතා විමසිලිමත්ව බලා සිටිමු. මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය පමණක් නොව රජයේ අයවැය ප්‍රතිපත්තිය ද හරියට ඒ සමග සමගාමීව මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට නිසි කළමනාකරණයකින් යුතුව නිසි මූල්‍ය විනයකින් යුතුව මෙහෙයවිය යුතුව ඇත. ඒ සඳහා වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට ද උපරිම හැකියාව ඇති බව අපගේ විශ්වාසයයි. එහෙත් දේශපාලනඥන්ගේ කැපවීම නැත්නම් නිලධාරීන්ගේ උත්සාහය ද එතරම් ප්‍රතිඵලදායි නොවීමට ඉඩ තිබේ. මේ නිසා ජනාධිපතිවරයාගේ සිට රජයේ සියලු මට්ටම්වල දේශපාලන නියෝජිතයන්ට මෙයට අනුගතව රට වැටී තිබෙන ආර්ථික අගාධයෙන් රට ඔසවා තබා ගැනීමට හැකිවන පරිදි තීන්දු තීරණ ගනිමින් ආදර්ශවත්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව අපි කියා සිටිමු.

● තවදුරටත් අවශ්‍ය ණය සහන

මේ වන විට බඩු මිල අහස උසට වැඩි වී මාසික වැටුප් ලබන ජනයා මෙන්ම අනිත් ජනයා ද බොහෝ අසරණ තත්ත්වයට පත්ව ඇත. එහෙත් ඔවුන් බැංකුවලින් ගෙන ඇති ණය වාරික ගෙවිය යුතුය. මේ වන විට තිබෙන ආර්ථික වාතාවරණය අනුව එය ඉතාම දුෂ්කර කටයුත්තකි. ඒ නිසා ඔවුන්ට තවදුරටත් ණය සහන කාලයක් අවශ්‍ය බව අපගේ අදහසයි.

මේ ගැන ද අප පසුගිය මහා බැංකු මාධ්‍ය හමුවේ දී ප්‍රශ්න කළෙමු. එයට මහා බැංකු අධිපතිවරයා මෙන්ම නියෝජ්‍ය අධිපති ඉවට් ප්‍රනාන්දු මහත්මිය ද ප්‍රතිචාර දක්වන ලදී. මුලික වශයෙන් බැංකු ණය වාරික ගෙවීමට සහන අවශ්‍ය බව ඔවුන් පිළිගනී. මේ සඳහා අපහසුතා ඇති බැංකු ණය ගැනුම්කරුවන්ට දැන් තවදුරටත් ණය සහන ඉල්ලා සිටිය හැකිය. ඒ ගැන තම බැංකු ශාඛාව සමග කතා කළ හැකිය. ඒ අනුව බැංකුවලට එම ඉල්ලීම් සලකා තම ණය ගැනුම්කරුට එම ණය ප්‍රතිව්‍යුහ ගත කර දෙමින් සහනයක් සැලසිය හැකිය. ඒ සඳහා බැංකු ද සූදානමින් සිටින බව නියෝජ්‍ය අධිපති ඉවට් ප්‍රනාන්දු මහත්මිය ද කියයි. එහෙත් ඔබ බැංකුවට ගිය පසු ලැබෙන ප්‍රතිචාර සුබවාදී නැත්නම් ඒ ගැන නැවත මහ බැංකුවට දැනුම් දීමට හැකියාව තිබේ. ඒ බව ඔබට මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකිය. එම සාධාරණ සහ වලංගු ඉල්ලීම් ගැන ක්‍රියා කිරීමට මහ බැංකුව ද මැදිහත් වනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment