අරගලකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 30ක යුද්දෙට දාපු නීති පාවිච්චි කරලා

150

ආදිවාසී නායක වන්නිලා ඇත්තන්

“අරගලකරුවන් අත්අඩංගුවට අරං තියෙන්නේ මේ රටේ වසර 30ක් තිබ්බ යුද්දෙට දාලා තිබ්බ නීති පාවිච්චි කරලා. හැබැයි මේ අයගේ අතේ තිබිලා ගිනි අවියක් හෝ අත් බෝම්බයක් හොයාගෙන නෑ. වැරැද්දක් කරලා තියෙනවා නම් කඩිනමින් දඬුවම් දෙන්න. රඳවාගෙන තබාගැනීම කිසි තේරුමක් නෑ කියලයි මම කියන්නේ.” යැයි මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (13) සවස ආදිවාසී නායක විශ්වකීර්ති වන්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්, දඹාන කොටබකිනිය ගම්මානයේදී ප්‍රකාශ කර සිටියේය.

වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ් ආදිවාසී නායක වන්නිලා ඇත්තන් “අද බලයට පත් වෙලා ඉන්න ජනාධිපතිතුමන්ට වුණත් බලයට පත් වෙන්න අවස්ථාව උදා වුණේ ඔය අරගලය හින්දා. මම හිතන්නෙත් ඒකමයි. වසන්ත මුදලිගේ කියන තරුණයා ආදිවාසී පරම්පරාවේ කාන්තාවක්ගේ කුසින් වැදූ, මේ ගමේ ඉපදිච්ච තරුණයෙක්. මම කියන්නේ ඒ තරුණයෝ කරලා තියෙනවා නම් වැරැද්දක් වැරැද්දට දඬුවම් කරන එක ගැටලුවක් නෑ. හැබැයි ඒ තරුණයෝ මාස ගණන් රඳවා ගනිමින් ශාරීරික පීඩාවලට වඩා මානසික පීඩනයක් හදවතට වේදනා ගෙන දෙන ආකාරයෙන් රඳවාගෙන දඬුවම් සිදු කළ යුතු නෑ. ඒ තරුණයා ඇතුළු අරගලයට එකතු වෙච්ච සමස්ත පිරිස කථා කරලා තියෙන්නේ ඒ ඒ අයගේ පෞද්ගලික උවමනාවන් නෙවෙයි. මගේ අදහස ඒ අය කථා කලේ මේ මුළු රටේම අවශ්‍යතාවය පිළිබඳවයි. එහෙම කථා කිරීම තුළ තමයි අද බලයට පත් වෙලා ඉන්න ජනාධිපති තුමන්ට උනත් බලයට පත් වෙන්න අවස්ථාව උදා වුණේ.

“පසුගිය කාලයේ මේ රටේ ලොකු වෙනසකට ලක් වුණා. මම දැකපු විදියට ඒ කාලේ ඒ අය කථා කරේ මේ රටේ ජීවත් වෙන සෑම පුරවැසියකුම අත් විඳන ගැටලු පිළිබඳවයි. ඒ කටයුත්තේදී අපේ ගමේ ඉපදිච්ච, අපේ පරම්පරාවේ කැකුළියෙකුගේ කුසින් බිහිවෙච්ච දරුවෙකුත් මේ තැනට මූලිකත්වය ගෙන සම්බන්ධවෙලා තියෙනවා. ඒ කාලේ හැමෝම කථා කළේ ඒ අයට සිදු කරන දේ හොඳයි. හැමෝම ඒකට උදව් කරන්න ඕන කියලා. සමහර වේලාවල්වලදී රටේ ප්‍රධාන පිරිස් පවා ඒ අවස්ථාවන්වලට සම්බන්ධ වෙලා උදව් කෙරුවා. ඒවා දකිද්දී මමත් හිතාගත්තා රටේ සියලු දෙනාටම ඒකෙන් යහපතක් වෙයි කියලා.

මම කියන්නේ ඒ අය පළි ගැනීමක් වගේ පීඩාකාරි ලෙසට රඳවා තබාගෙන දඬුවම් කිරීම නෙවෙයි සිද්ධ වෙන්න ඕන. වැරැද්දක් සිද්ධවෙලා තියෙනවා නම්
වැරැද්දට දඬුවම් කිරීම සිදු කළ යුතුයි. අධිකරණයක් කියලා එකක් තියෙනවානේ. ඒකෙන් කරුණු විමසලා ඒකෙන් සාධාරණ තීන්දුවක් ලබාදෙයි. වැරැද්දක් කරලා තියෙනවානම් වැරැද්දට දඬුවම් අධිකරණයෙන් ලබාදෙයි. හැබැයි ඒ අයට වද දීලා මෙහෙම දඬුවම් කරන එක හොඳ නෑ කියලා මම කියනවා.

මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment