අරගලකරුවන් සිව්දෙනාට තරයේ අවවාද සමග ඇප

389

පසුගිය 9 වැනිදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවැති විරෝධතාවයකට පොලිස් මාර්ග බාධකවලට හා ජල විදින යන්ත්‍රයකට අලාභහානි කිරීම ඇතුළු චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි ජගත් මනුවර්ණ, එරංග ගුණසේකර, ජොහාන් අප්පුහාමි හා ධම්මික මුණසිංහ යන අරගලකරුවන් සිවුදෙනාට තරයේ අවවාද කොට රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප අටක බැඳුම්කර මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළින ගමගේ මහතා ඊයේ (24දා) නියෝග කළේය.

එම නඩුවේ සෙසු සැකකරුවන් පූජ්‍ය රත්කැරැව්වේ ජිනරතන හිමි, ලහිරු වීරසේකර හා රතිදු සේනාරත්න තිදෙනා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්‍ෂේප කළේය. එම සැකකරුවන් තිදෙනාට එරෙහිව වෙනත් සිද්ධීන් කිහිපයකට එරෙහිව නඩු පවතින බව පෙන්වා දෙමින් පොලිසිය කළ කරුණු දැක්වීම සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එලෙස ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.

එකී සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සැකකරුවන් ලෙස නම්කර තිබූ 9 දෙනකු අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මින් පෙර වරෙන්තු නිකුත් කොට තිබිණි. එලෙස වරනේතු නිකුත් කොට තිබියදී පෙරකී සැකකරුවන් පසුගිය 22 වැනිදා මරදාන පොලිසියට භාරවීමෙන් අනතුරුව ලබන 1 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියම කොට තිබිණි.

එලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ හා ගල්වැවේ සිරිධම්ම හිමියන් මේ දක්වා පොලිසියට භාරවී නොමැත.
ඒ. ජේ. ඒ. අබේනායක සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment