අරගලකරුවෝ පෙත්සම් පහ අස්කර ගනිති

108

ගාලුමුවදොර පිටියෙන් තමන් ඇතුළු අරගලකරුවන්ට ඉවත් වන ලෙසට කොටුව පොලිසිය විසින් නිකුත් කරන ලද වාචික හා ලිඛිත නිවේදන අභියෝගයට ලක්කරමින් මීගහවත්තේ කාශ්‍යප හිමියන් ඇතුළු පස්දෙනකු අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම් පහ පෙත්සම්කරුවන් විසින්ම ඊයේ (10 දා) ඉල්ලා අස්කර ගන්නා ලදී.

පුරා මාස තුනකට අධික කාලයක් තිස්සේ රැඳී සිටි සියලුම කුටි ඉවත් කරගෙන අරගලකරුවන් ද එම ස්ථානවලින් ඉවත් වීමට තීරණය කර ඇති බැවින් එකී පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය ඉල්ලා සිටියහ. එකී ඉල්ලීමට අවසර ලබාදුන් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල එකී පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට නියෝග කළහ.

එකී පෙත්සම්කරුවන් ඇතුළු අරගලකරුවන් එම ස්ථානයේ රැඳී සිටිනුයේ අනවසරයෙන් වන බැවින් එකී කුටි කඩා ඉවත් කිරීම ඇතුළු නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය පොලිසියට ඇති බවත් එකී නෛතික බලයට අගතියක් නොවන ආකාරයෙන් පෙත්සම්කරුවන්ගේ එම ඉල්ලීම්වලට විරුද්ධ නොවනා බවත් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට පැවසීය.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් ගොනු කර තිබූ එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස කොටුව පොලිස් ස්ථානාධිපති පොලිස්පතිවරයා හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment