අරගලයට අද සහායට…

227

අරගලයට අදට දින 92 යි

ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට වහා ඉල්ලා අස්වන ලෙසට බලකරමින් කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අරගලය අද (09 වැනිදා) 92 වැනි දිනයටත් පැවැත්වේ.

ඊයේ දිනයේදී අරගල භූමියට විවිධ පිරිස් එක්ව සිටියද ඔවුහු ජනාධිපතිවරයාට වහා ගෙදර යන ලෙස බල කරමින් විරෝධතාවයේ යෙදුණහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

ශ්‍රීලනිපයත් අරගලය එක්ක – දයාසිරි කියයි

අරුණ බෝගහවත්ත

ආණ්ඩුවට එරෙහිව අද (09දා) පැවැත්වෙන ජනතා අරගලයට පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ සඳහා නිදහස් පක්‍ෂයට සම්බන්ධ සියලු වෘත්තීය සමිතිවල නායකයන් ඇතුළු සාමාජිකයන් වෘත්තීය මට්ටමින් පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරවලට සහභාගි වන බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

පවතින ආර්ථික අර්බුදය මෙන්ම ජනතාව මුහුණදී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා පක්‍ෂයක් ලෙස අවශ්‍ය පියවර ගැනීමට ජනතාව ගන්නා ක්‍රියාමාර්ග සමග එක්ව සිටින බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරගලයට සජබ පූර්ණ සහාය – තිස්ස අත්තනායක

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

අරගලය වෙනුවෙන් සමගි ජනබලවේගයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවැසීය.

කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු එසේ කීය.

තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කියා සිටියේය. අපිට පේනවා දේශපාලනයේ පැත්තකින් තියලා රටේ සෑම පුරවැසියෙක්ම මේ අරගලයේ ඉන්නවා. මූලික ජනතා ප්‍රශ්න විසඳන්න ආණ්ඩුව මැදිහත් වෙලා නැහැ. මේ නිසා මිනිසුන්ට දැනෙන වේදනාව, දුක මේ සියල්ලක් එක්ක තමයි මේ අරගලය ආරම්භ වෙලා තියෙන්නේ. ඒ නිසා අරගලයේ මූලික අරමුණ ඉටුකරගැනීම සඳහා සමාජයේ සෑම පාර්ශවයක්ම එකට එකතුවෙලා කරන මේ සටන වෙනුවෙන් සමගි ජනබලවේගයේ පූර්ණ සහයෝගය ලබා දෙනවා.

නළු නිළියෝත් අද විරෝධතාවල

නෝමන් පළිහවඩන

වත්මන් ආණ්ඩුවට එරෙහිව අද (09දා) කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණ ව්‍යාපාරයට නළු නිළියන් ඇතුළු සිනමා කාර්මික ශිල්පීන් විශාල පිරිසක් සහභාගී වන බව ප්‍රවීණ සිනමා නිළි දුලීකා මාරපන මහත්මිය ‘දිවයින’ට සඳහන් කළාය.

කොළඹට පැමිණීමට අසීරු මෙම කලා ශිල්පීන් තම තමන්ගේ ප්‍රදේශවල පැවැත්වෙන උද්ඝෝෂණ ව්‍යාපාරවලට එක්වෙන බව දැනුම්දී ඇතැයි ද දුලීකා මාරපන මහත්මිය පැවසුවාය.

ජනපති – අගමැති වහා අස්විය යුතුයි – දුමින්ද නාගමුව

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

ජනපති අගමැති වහා ඉවත්විය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කොළඹදී ඊයේ (08දා) පැවසීය.

තවදුරටත් කතාකළ හෙතෙම මෙසේද කීය.

පැහැදිලිවම ගෝඨාභය රාජපක්‍ෂ ඉවත්විය යුතුයි. රනිල් වික්‍රමසිංහ ඉවත්විය යුතුයි.

පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් ගොඩනැගීම අවශ්‍යයි. මොකද ගෝඨාභය ගිහින් තව කවුරු හරි ආවත් මේ ප්‍රශ්න විසඳන්න බෑ. මේ කොළකුට්ටම අනලා කවුරු ගත්තත් විසඳුමක් දෙන්න ඒ අයට බෑ. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතා බලයක් පිහිටුවිය යුතුයි.

අරගලයට සහායට සරසවි සිසුහු 500 ක් පාපැදියෙන් යාපනයට

නෝමන් පලිහවඩන

අද (9) කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයට සහාය දැක්වීම සඳහා යාපනයේ විශ්වවිiාලයේ සිසුන් 500 ක් පමණ දෙනා කෝපායි සිට යාපනය නගරය තෙක් පාපැදිවලින් පැමිණීමට නියමිතය.

මෙම සිසුන් පිරිසට අමතරව යාපනයේ පදිංචිකරුවන් පිරිසක්ද ඊට එක්වීමට නියමිත බව යාපනය පොලිසිය කියයි.

මෙම පිරිස මෙහිදී රැලියක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම තොරතුරු ඔස්සේ යාපනය පොලිසිය සහ ආරක්‍ෂක හමුදාව දැඩි ආරක්‍ෂක රැකවරණය යොදවා ඇත.

සාමකාමීව උද්ඝෝෂණ කරන්න – නීතිඥ සංගමය

සියලු උද්ඝෝෂණ සාමකාමීව පවත්වන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ ඉල්ලීමක් කර සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ සෑම පුද්ගලයෙකුම සතු විසම්මුතියේ අයිතියට රජයේ පාර්ශවය ගරු කළ යුතු බවය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාව බලාපොරොත්තුවන වෙනස හා අභිලාශයන් මෙන්ම රට පත්ව ඇති තත්ත්වයෙන් මුදා ගත නොහැකි බවද රටේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයට නීතිඥ සංගමයද යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment