‘අරගලයට අවුරුද්දයි! ආයෙත් අරගල

633

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙන් පරීක්ෂණයක්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් ඉවත් කිරීම ‘අරගලයේ’ එකම අරමුණ වූයේ නම් මීට වසරකට පෙර සිදුවූ ජනතා නැඟිටීම සාර්ථකය. ‘අරගලය’ මෙහෙයවූයේ ජනාධිපතිවරයා ඉවත් කිරීමට පමණක්ද නැතහොත් රටේ ගමන් මග වෙනස් කිරීමටද යන අතිශය සංකීර්ණ ප්‍රශ්නය අද ජනතාව ඉදිරියේ ඇත.

කවුරු කෙසේ කීවත් බලාපොරොත්තු වූ ක්‍රමය උඩු යටිකුරු කිරීම නැතහොත් ‘සිස්ටම් චේන්ජ්’ එක සිදු වූයේ නැත. නමුත් සමස්ත ක්‍රියාදාමයේම නැතහොත් න්‍යාය පත්‍රයේ මූලික අරමුණ වන ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් පිට ඉවත් කර ගැනීමට ‘අරගලය’ සමත් විය.

ජනාධිපතිවරයා ඉවත් කිරීමෙන් පමණක් බලාපොරොත්තු වූ ‘සිස්ටම් චේන්ජ්’ එක ලබා ගැන්මට නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. එසේ වූවානම්, වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව සහ නීතිඥ සංගමය අතර අධිකරණයට දේශපාලන අධිකාරිය පාර්ලිමේන්තුව හරහා බලපෑම් කරන බවට සහ ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වන්නේ නැත. නීතිඥ සංගමයද ‘අරගලයේ’ කොටස්කරුවෙකි. ‘අරගලය’ මෙහෙයවපු කණ්ඩායම් සහ එවකට රජය අතර අතරමැදියකු ලෙස නීතිඥ සංගමය ක්‍රියා කළේය. එහි වරදක් නැත.

එජාප නායක වික්‍රමසිංහ, ජවිපෙ නායකත්වය දෙන ජාතික ජනබලවේගය සහ ජවිපෙන් කැඩීගිය පෙරටුගාමී පක්ෂයද ‘අරගලයේ’ පාර්ශ්වකරුවන්ය. එජාප නායකයා ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීමේ මෙහෙයුමට මුල සිටම නායකත්වය දුන් බව හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. කිසිවකු එම ප්‍රකාශය අභියෝගයට ලක් කර නැත. හිටපු එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ ද තමන් ‘අරගලයේ’ දිගටම සිටිය බව ප්‍රකාශ කර ඇත.

එසේ නම් වසරකට පසුව ‘අරගලයේ’ පාර්ශ්වකරුවන් අතර බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වීම විමසා බැලිය යුතු වන්නේ ජනතා බලාපොරොත්තු ඉටු වූයේ දැයි ස්වාධීන විමසා බැලීමක් කිරීමෙනි.

එලෙසෙම, පොහොට්ටුවට නව නායකත්වයක් ලැබීම නොසලකා වර්තමාන දේශපාලන භූමිය තේරුම් ගත නොහැක. මෑතකදී කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබූ පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය පසුගියදා අවධාරණය කළේ දේශපාලන දැනුමක් නැති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂය) 2019 ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීම තමන්ගේ පක්ෂ නායකත්වය කළ වරදක් බවයි. ඇය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ද පූර්ණ විශ්වාසය පල කළේය.

එවකට පැවති භූමියේ තත්ත්වය අනුව ගෝඨාභය රාජපක්ෂ නොවන්නට 2019 ජනාධිපතිවරණය පොහොට්ටු පක්ෂය පරාජය විය හැකිව තිබුණ බව ඇය අමතක කර දමා ඇත. එදා ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය ඔහුගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් රටේ ඉහළම උසාවියේ අභියෝගයට ලක් කළේය. එම ප්‍රයත්නය සාර්ථක වූවානම් මැතිවරණ සටන එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ පොහොට්ටු අපේක්ෂක චමල් රාජපක්ෂ අතරය.

කාංචන විජේසේකර අමාත්‍යවරයා දෙරණ නාලිකාව සමඟ කළ ‘360’ සජීව වැඩසටහනේදී, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයකගේ කැමැත්ත වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම බව ප්‍රකාශ කළේය. මෙම ලියුම්කරු පාර්ලිමේන්තුවේ සිටින එජාපය නියෝජනය කරන වජිර අබේවර්ධන අමාත්‍යවරයාගෙන් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදී, ඔහු පැවසුවේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැර රටට විකල්පයක් නොමැති බවයි. හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේ භූමියේ තත්ත්වය අනුව ආර්ථිකය වර්ධනය කරමින් රට ඉදිරියට ගෙන යෑමට නම් අනිවාර්යෙන්ම එජාප නායකයා බොහෝ කාලයක් ජනාධිපති ධුරයේ සිටිය යුතු බවය.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට 21 දෙනකුගෙන් සමන්විත ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාවක් මෑතකදී පත් කිරීම ආණ්ඩුවේ අවධානයට ලක් විය යුතුය. ඒ අද වනතුරු රටේ සිදුවූ බල පෙරළිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තුව පියවර ගෙන නොමැති නිසාය.

ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ එවකට රජයට එරෙහිව නඩු කීපයක් ගොනූ කර ඇත. නමුත් ‘අරගලයේ’ දේශපාලන පසුබිම විමසීම අත්‍යවශ්‍යය. එම අවශ්‍යතාවය කිසිදු ගැටලුකාරී තත්ත්වයක් ඇති නොකළ යුතුය. නැතහොත් කිසිදු පාර්ශ්වයක් ප්‍රශ්නයක් කර ගත යුතු නැත.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විශ්‍රාමික දිසා විනිසුරු පර්ල් කරලියද්දේ නායකත්වයෙන් පත් කළ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයන් වන්නේ නිමල් ද සිල්වා, මහාචාර්ය මාලිනි ඇඳගම, ලුතිනල් ජෙනරාල් ජගත් ඩයස් (57 සේනාංකයේ ප්‍රධානි), රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් මොහාන් සමරනායක (හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රධානි), විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය (8 වන කාර්ය සාධක බළකායේ ප්‍රධානි), ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා (ගෝඨාභය රාජපක්ෂ රජයේ අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක), ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා (නව ව්‍යවස්ථාවක් සැකසීමට පත්කළ කණ්ඩායමේ සාමාජික), කොළඹ තරුණ බෞද්ධ සමිතියේ හිටපු සභාපති සුරේන් අබේගුණසේකර, කථිකාචාර්ය ආචාර්ය දුලිප් පලිහවඩන (කොමිසමේ ලේකම්), හිටපු තානාපති ගාමිණී මුණසිංහ, ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන සහ පර්යේෂණ ආයතනයේ සැලසුම් අධ්‍යක්ෂක පානි වෑවල (එක රටක් එක නීතියක් කොමිසමේ ද සාමාජිකයෙකි), ආචාර්ය එල්. එම්. කේ. තිලකරත්න, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ලලීන්ද රණවීර, ජාත්‍යන්තර සහ දේශපාලන කටයුතු විශ්ලේෂක ෂෙනාලි වඩුගේ, වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ, වෛද්‍ය චන්දික එපිටකඩුව, නීතිඥ සමිත කල්හාර ලියනාරච්චි සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේය.

ස්ථාපිත කර ඇති කොමිෂන් සභාවේ ප්‍රධාන අරමුණ රාජ්‍ය අරාජිකත්වය සහ ඊට හේතු වූ කරුණු කාරණා විමර්ශනය කිරීම බව එම කොමිෂන් සභාව අවධාරණය කර ඇත. විමර්ශනයට භාජනය වී ඇති මූලික කරුණු වන්නේ (1) රාජ්‍ය නොවන සංවිධාන, බෙදුම්වාදී සහ රහස්‍ය කණ්ඩායම්, එලෙසෙම අන්‍යාගමික සහ අනාගමික කණ්ඩායම් බෞද්ධාගමට එරෙහිව පැවිදි වේශයෙන් සිටින පුද්ගලයන් යෙදවීම (2) මුදල් සහ නොයෙකුත් ආධාර ලබාදීම (3) අන්තවාදී දේශපාලන කණ්ඩායම් උසස් අධ්‍යාපනය හදාරණ තරුණ පැවිදි සිසුන්ට කරන දැඩි බලපෑම් හේතුවෙන් තරුණ භික්ෂුන් සිවුරු හැර යෑම සහ විනය පිරිහීම (4) ශ්‍රී ලංකා රාජ්‍යට, දළදා වහන්සේට සහ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව කටයුතු කිරීම (5) බෞද්ධ සහ දේශප්‍රේමී සංවිධාන මෙන්ම ප්‍රකට භික්ෂුන් වහන්සේලා අරගලය සමයේදී නිහඬ වීම (මෙහිදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට පසුගිය වසරේ තම ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විමසීමක් කිරීමට සිදුවීම නියතය. නමුත් ශ්‍රී ලංකා රාජ්‍ය දියකර හැරීම ආරම්භකර ඇත්තේ මීට දශක කීපයකට පෙරය. එහි ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය පාර්ලිමේන්තුව ද කියා සිතෙන්නේ පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වය එකිනෙකාට කරන චෝදනා විමසා බැලීමේදීය. පසුගිය වසරේ මාර්තු – මැයි සිදුවූ ජනතා පිපිරීම පක්ෂ දේශපාලනයේ වගකීම් විරහිත හැසිරීම බව අවධාරණය කළ යුතුය.) (6) මැයි 09 වන දින ගාලු මුවදොර සහ එම ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්, එදින සවස ඇතැම් පුද්ගලයන් කළ ප්‍රකාශ සහ මැයි 09 සහ 10 දෙදින සංවිධානාත්මක කළ පහර දීම, ජීවිත සහ දේපළ හානි (අරලියගහ මන්දිරයට මැයි 09 දින පොහොට්ටු පාක්ෂිකයන් කැඳවීමේ ක්‍රියාදාමය විමර්ශනයට ලක් විය යුතුමය. ඇත්තවශයෙන්ම එවකට ජනාධිපතිවරයාගේ පැඟිරිවත්ත, මිරිහානේ නිවාසය ඉදිරිපිට ජනතා බෝම්බය පුපුරා ගිය 2022 මාර්තු 31 දින සිට මැයි 09 දින දක්වා අරලියගහ මන්දිරය කටයුතු කළ ආකාරය අතිශයින්ම විවාදාත්මකය. අවාසනාවන්තය.) (7) පසුගිය වසරේ ඇතිවූ හදිසි තත්ත්වය, එම අභියෝගයට ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශවල ප්‍රතිචාරය සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රට හැරදා යෑම (2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියානු රජයෙන් ලැබුණු නිශ්චිත තොරතුරු ජාතික ආරක්ෂක මණ්ඩලය නොසලකා හැරීම අමතක කර මෙම විමර්ශනය කළ නොහැක.

එලෙසම පාස්කු ප්‍රහාරයෙන් දින ගණනාවකට පසුව මිනුවන්ගොඩ පොලිස් වසමේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් එදා ආරක්ෂක අංශවල නායකත්වය වගකිව යුතු නොවේද?) (8) හමුදාමය ක්‍රියාමාර්ගයකින් කිසිසේත් පරාජය කළ නොහැකි බව අවධාරණය කළ ද්‍රවිඩ ත්‍රස්තවාදය 2009 මැයි මාසයේ පරාජය කිරීම සහ ‘අරගලය’ අතර යම්කිසි සම්බන්ධතාවයක් තිබේද (9) බෞද්ධ ආර්ථික සංකල්ප නොසලකා කටයුතු කිරීම හරහා ආර්ථික අර්බුදය ඇති වූවා දැයි සොයා බැලීම (10) නීතිඥ ප්‍රජාව නියෝජනය කරන ඇතැම් කොටස් කටයුතු කළ ආකාරය සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය ‘අරගලයට’ සම්බන්ධ ප්‍රචණ්ඩත්වය පෝෂණය කළාද? (මෙහිදී එම අවස්ථාවේ නීතිඥ සංගමයට නායකත්වය දුන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ගේ මැදිහත්වීම අවධානයට යොමු විය යුතුය. නීතිඥ සංගමය කළ යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් ව්‍යවස්ථාවෙන් පිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් කිරීම වළක්වා ගත හැකිව තිබුණේද යන කරුණ විමසා බැලිය යුතුව ඇත) (11) ‘අරගලය’ තුළ වගකීම් විරහිත රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය භාවිතය. එම ක්‍රියාකලාපය තුළ ජනතා විරෝධතාවය උත්සන්න වීම සහ කණ්ඩායම් ලෙස ප්‍රචණ්ඩත්වයට යොමුවීම (මිරිහානේ පැඟිරිවත්ත ප්‍රදේශයේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවාසය ඉදිරිපිට ඇතිවූ තත්ත්වය පළමුවෙන්ම අන්තවාදී පිරිස් සහ අරාබි වසන්තය පිට පැටවූයේ ජනාධිපති මාධ්‍ය අංශයයි. පැඟිරිවත්ත සිදුවීම්වලින් පැය 24 යෑමට පෙර එවැනි නිගමනයකට පැමිණියේ කෙසේද? පොලිස්පති සහ එවකට මහජන ආරක්ෂාව භාර ඇමැතිවරයා මෙම නිගමනය අනුමත කළේද?) (12) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලය ‘අරගලයට’ සම්බන්ධද? (13) ‘අරගලය’ සහ ‘අරගලය’ සමග සම්බන්ධ සිද්ධීන් සහ ප්‍රචණ්ඩකාරී තත්ත්වය පිළිබඳව නිසි ආකාරයෙන් ක්‍රියා කිරීමට අපොහොසත්වීම විමර්ශනයට ලක්කිරීම (14) ‘අරගලය’ සමාජ ගුණධර්ම පිරිහීමට බලපෑ ආකාරය (15) රාජ්‍ය අරාජිකත්වයට පත්වීමට හේතුවූ පොදු කරුණු අධ්‍යයනය කිරීම (16) අංක 1 සිට 15 දක්වා වගන්තිවලට පිටස්තර කරුණු කාරණා විමසා බැලීම සහ අවසන් වශයෙන් (17) සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය දැඩිව අවධානය යොමු කළ යුතු කරුණක් ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ/සන්ධාන තමන්ට හිමි බලය කෙසේ හෝ රැක ගැනීම සහ විපක්ෂය කෙසේ හෝ බලය ලබා ගැනීම ප්‍රධාන දේශපාලන අරමුණ බවට පත්වී ඇති රටක් ඛේදවාචකයක් බව අවබෝධයෙන් විමර්ශනය කළ යුතුය. එසේ නොවන්නට රට බරපතළ අර්බුදයකට තල්ලු කළ 19 වැනි සංශෝධනයට (2015 අප්‍රේල් ) පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට ඊට ප්‍රතිවිරුද්ධ විධායකය ශක්තිමත් කළ 20 වැනි සංශෝධනයට (2020 අගෝස්තු) අත එසවිය නොහැක. නැවතත් එම මන්ත්‍රීවරු 21 සංශෝධනයට (2022 ඔක්තෝබර්) ඡන්දය දුන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය.

ඇත්තවශයෙන්ම රට අකර්මණ්‍ය කර ඇති දේශපාලන – ආර්ථික – සමාජීය ප්‍රශ්නය විමර්ශනය කළ යුතුව ඇත්තේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ක්‍රියා කරන ආකාරය සමස්තයක් ලෙස සැලකිල්ලට ගැනීමෙනි. උත්තර ලංකා සභාගය නියෝජනය කරන ගෙවිඳු කුමාරතුංග අවධාරණය කරන්නේ රටේ ඉහළම උසාවිය ශ්‍රී ලංකා මහ බැංකු පනත සම්බන්ධයෙන් මෑතකදී දුන් තීරණය ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට ගැළපෙන පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන රටක විය නොහැක්කේ කුමක්ද යන අතිශය බරපතළ ප්‍රශ්නයයි.

යුතුකම සිවිල් සංවිධානයේ සභාපති පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී කුමාරතුංග අවධාරණය කරන තත්ත්වය පිළිබඳව විමසා බැලිය යුතු වන්නේ යෝජිත ශ්‍රී ලංකා මහා බැංකු පනත කරළියට පැමිණීම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විමර්ශනය කරන කරුණු කාරණා හේතුවෙන් සිදු වීම නිසාය. එතුමා පෙන්වා දුන්නේ යෝජිත පනත බලගතු බෝම්බයක් බවත් එය 1996 ජනවාරි 31 ශ්‍රී ලංකා මහා බැංකුවට ද්‍රවිඩ ත්‍රස්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය මෙන් 100 ගුණයක් දරුණු බවයි. පාර්ලිමේන්තුව නොමඟ යවා එම පනත සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය ක්‍රියා කරන බවට කළ චෝදනාව පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කිසිවකුට බැහැර කළ නොහැක. කුමාරතුංග මන්ත්‍රීවරයාගේ චෝදනාව පදනම් වී ඇත්තේ කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ සුළුතර බහුතරයකින් සම්මත කර ගැනීමට හැකි බවට කිවූ මහ බැංකු පනත සම්බන්ධයෙන් රටේ ඉහළම උසාවිය දුන් තීන්දුව අනුව එම පනතේ වගන්ති 134 න් 46 ක්ම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ඒවා සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ තුනෙන් දෙකක බහුතරයකට අමතරව ජනමත විචාරණයකින් ජනතාව අනුමත කළ යුතු බව අවධාරණය කර ඇත.

පාර්ලිමේන්තුව සම්බන්ධ නැතහොත් වගකිවයුතු මෙම තත්ත්වය නැවත නැවතත් අවධාරණය කරන්නේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විමර්ශනය කරන අර්බුදය තවමත් වර්ධනය වෙමින් පවතින බවයි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment