අරගලයට එන්නැයි කියමින් සරත් ෆොන්සේකා හදන්නේ තරුණ ජීවිත බිල්ලට දී මහා ව්‍යසනයකට පාර කපන්නයි

336

ලබන 9 වැනිදා අරගලයකට එන්නැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කර ඇති ප්‍රකාශය ගැන අප කනගාටු වෙනවා. මේ රටේ තරුණ ජීවිත බිල්ලට දී ඔවුනගේ මළ සිරුරු මතින් තම දේශපාලන බල පිපාසය සංසිඳුවා ගැනීමට ඔහු උත්සාහ කිරීම පිළිකුල් සහගත යැයි දොම්පේ එජාප ප්‍රධාන සංවිධායක අමල් රුද්‍රිගු මහතා පැවසීය.

රට වෙනුවෙන් පිවිතුරු අරගලයකට එදා එක්වූ සටන දේශපාලන බලවේග හා දේශපාලකයන් පැන අද කිලිටි කර දමා තිබෙනවා. මේ රටේ සිටි ජනාධිපතිවරයා ගෙදර යෑම අරගලයේ එදා ප්‍රධාන අරගල තේමාව වුණා. අද එම ජනපති නෑ.

රට අරාජිකත්වයෙන් මුදා ගැනීමට අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නොබියම ඉදිරිපත් වුණා. අන්තිමේ තමන් ඉගෙන ගත් විදුහලට දෙන්න ගිය නිවෙසත් එහි තිබූ ඉතා දුර්ලභ පොත පත තිබූ එතුමාගේ පුස්තකාලයත් ගිනි තබා අළු කළා. ඒත් රනිල් වික්‍රමසිංහ මහතා ඒ කිසිවකින් පසුබැස්සේ නැහැ. වසර 45 ක පරිණත දේශපාලන පෞරුෂයකින් යුතුව එතුමා අද රටේ ජනපති වුණේ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි. පෝලිම් යුගය නිමා කරන්නට, නැවතත් රට යථා තත්ත්වයට පත් කරන්නට එතුමාට යම් ඉඩක් දිය යුතුයි.

අද ෆොන්සේකා මහතා අපේ ජනාධිපතිවරයාට එරෙහිව කතා කිරීමත් විහිළුවක්. ඒ දෙන්නා ගෙන් ජනපති ඉන්නේ ගව් ගණනක් ඉදිරියෙන්.

සමහරුන්ට පහත් ලෙස බලකෑදර කමක් තිබෙනවා. කවුරු හරි මරලා හරි තමන්ට බලයට එන්න පුළුවන් විදිහක් ගැන ඒ අය මාන බලනවා. අපේ තිස් වසරක යුධ ඉතිහාසයේත් එවන් දේවල් අප දුටුවා. සුදු කොඩි ඔසවා ගෙන ආපු අයට හමුදාවේ සමහරු වෙඩි තබන්න අණ කළා යැයි එදා මහත් ආන්දෝලනයක් ඇති කළ කතාබහක් වුණා.

අරගලයට හේතුවූ සැබෑ ජනතා ප්‍රශ්න ජනාධිපතිතුමන් හොඳින් අවබෝධකර ගෙන සියලු පක්ෂවලින් සැදුම් ලත් සර්වපාක්ෂික රජයක් හදන්න වෙහෙසෙන වෙලාවක් මේ. ඒ අරමුණ කඩාකප්පල් කරන්න දේශපාලන බලකෑදරයෙන් අද වියරුවෙන් කතා කරනවා, මහා ව්‍යසනයකට පාර කපනවා.

advertistmentadvertistment
advertistmentadvertistment