අරගලයට ගිනි ඇවිලුණේ ඇයි?

1965

 “බලය යනු කැරට් 22 පිරිසිදු රත්තරනින් තැනූ මාලයකි. මිල කළ නොහැකි දියමන්තිද මෙහි අල්ලා තිබේ. මේ මාලය විටෙක උගස් කළ හැකිය. තවත් විටක විකිණිය හැකිය. එහෙත් වඩාත්ම සුදුසු දෙය වන්නේ මේ මාලය නොමිලේම පරිත්‍යාග කිරීමට හිත හදා ගැනීමය. නොඑසේ නම් මාලය පැහැරගන්නට එන එකා බෙල්ලත් කපාගෙන යයි”

 පසුගිය කාලයේදී ලෝකයේ අගමැතිවරුන් කිහිපදෙනකුට අකාලයේ ඉල්ලා අස්වීමට සිදුවිය. ඊශ්‍රායලයේ බෙන්යමින් නෙතන්යාහු එක් අයකි. පකිස්ථානයේ ඉම්රාන් ඛාන් දෙවැන්නාය. තුන්වැන්නා එංගලන්තයේ අගමැති බොරිස් ජොන්සන්ය. අප විසින් මෙහි පළමුවන ඡේදයේ බහාලන ලද අදහස මෙසේ බලය අත්හැර ගිය මෑතකාලීන අගමැතිවරුන් තිදෙනා හෝ වින්ස්ටන්ට් චර්චිල් හෝ වී. අයි. ලෙනින් හෝ ජේ. ආර්. ජයවර්ධන හෝ ප්‍රකාශයට පත්කළ අදහසක් නොවේ. පෙරේදා හටගත් ජන අරගලය සහ එහි විනාශකාරී අතුරුඵලය දැකීමෙන් ඉහත සඳහන් අදහස අපේම හිතට නිකන්ම ගොඩවැදින. ගෝඨාභය රාජපක්ෂ සුදුසු කාලයේදී බලය අත්හැර ගෙදර ගියේ නම් පසුගිය දිනවල සිදුවූ මළ මඟුල් කිසිවක් හටගන්නේ නැත. නොඑසේ නම් අරගලකරුවන් ජනාධිපති මන්දිරයට වැදී එය සුද්ද කරන්නේ නැත. අරලිය ගහ මන්දිරයේ බාර් එකේ තිබූ විස්කි බොන්නේද නැත. එසේම රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට ගිනි තබන්නේද නැත. මේ රටේ දේශපාලනඥයන් බලය අත්හැර දමන්නේ රටේ දේපළ ද ජනයාගේ ජීවිත ද ජන ජීවිතය ද විනාශයට පත්කරමිනි. ලබන 13 දා ජනාධිපති ධුරයෙන් ඉවත්වන බව ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. ඔහු නිවැරදි නායකයෙක් නම් ඉල්ලා අස්විය යුතුව තිබුණේ කොරෝනා වසංගතය විසින් රට විනාශයට පත්කරමින් තිබූ සමයේදී රටේ ආර්ථිකය ඔහුගේ අතින් ගිලිහී යෑමත් සමගය. එහෙත් ඔහු තුළ පැවති දේශපාලන අපරිණතභාවය හෝ ඔහුගේ බූරු උපදේශකයන් විසින් දෙන ලද බූරු උපදෙස් නිසා හෝ ගම සමග පිළිසඳර පවත්වමින් සිංහරාජය හරහා ලංකාගමට පාරවල් කපමින් සිටියා හැර ඔහු බලය අත්හැර දමා සිය කලිසමත් බේරාගෙන රටත් බේරා පුළුවන් එකකුට වැඩේ කරදීමට ඉඩදී ගෙදර ගියේ නැත. ඩලස් අලහප්පෙරුම ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක් අරගලය දින ජනාධිපති ගෝඨාභයට ලිපියක් භාරදෙමින්, ඉල්ලා අස්වන ලෙස දැන්වූහ. ජනාධිපතිට උපදෙස් දුන් මෝඩ ගොන් රැළ පිළිබඳව ද එහි ඡායාමාත්‍රික සඳහනක් විය. ගෝඨාභය බලයට එන්නේ 69 ලක්ෂයක් වූ සාමාන්‍ය ජනතාවගේ ඡන්දවලිනි. ගෝඨාභය ගෙදර යන්නේ එකී 69 ලක්ෂයේ ද්වේෂයත් ලක්ෂ එකහමාරක් පමණ වූ විරෝධතාකරුවන්ගේ බලකිරීමත් නිසාය. ඔහු බලයට පත් අවස්ථාවේදී ඔහු සමග සිටි වියත් මග අද වන විට ආගිය අතක් නැත. අපට තිබෙන පෞද්ගලික දැනුමට අනුව වියත් මගේ බුද්ධිමතුන් වැඩිදෙනාගේ බුද්ධියේ උස වියතකට වඩා නැත. එබැවින් රටක් පාලනය කිරීම සඳහා ජනාධිපතිට උදව් කිරීමට එවැනි පුද්ගලයන්ට නොහැක.

 කොවිඩ් 19 වසංගතය විසින් අවුරුදු එකහමාරක් පමණ කාලයක් රට වසා දැමීමෙන් අනතුරුව ගෙවී ගිය අතේ සතේ නැති බංකොළොත් සහ නන්නත්තාර යුගය අවසන් කිරීම සඳහා නැවත වතාවක් රට විවෘත කිරීමෙන් පසු මේ රටේ පුවත්පත් කර්තෘවරුන් ජනාධිපති මන්දිරයට කැඳවූ ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ කොවිඩ් වසංගතය තම වරදක් නිසා හටගත්තක් නොවන බවය. මෙය කිසිදු පරිනත රාජ්‍ය පාලකයකු විසින් කිව යුතු දෙයක් නොවේ. මෙවැන්නක් අන්තිමටම කියා ඇත්තේ, ක්‍රිස්තු වර්ෂ 79 දී විසුවියස් ගිනි කන්ද පුපුරා ගිය අවස්ථාවේදී එවකට සිටි රෝම අධිරාජ්‍යයා වූ ටයිටස් සීසර් පමණි. මේ ගිනි කන්ද පිපිරීමෙන් පොම්පෙයි සහ හර්කියුලේනියම් යන නගර දෙක විනාශ විය. මේ විනාශය ගැනත් එම විනාශයෙන් තුවාල ලබා සහ අනාථව සිටින පිරිස ගැනත් මහජනතාව විසින් ටයිටස් සීසර්ට දන්වන ලද කල්හී විසුවියස් ගිනි කන්ද පිපිර වූයේ තමා නොවන බව අධිරාජ්‍යයා කීවේය. වසංගත රෝගයක පැතිරීම සම්බන්ධයෙන් වරද හිමිවන්නේ අදාළ වෛරසයටය. එහෙත් එහි වගකීම රජයට හිමි වෙයි. රජයේ නායකයා ජනාධිපති බැවින් වසංගතය නිසා ඇතිවන සියලු හානිවල යම් ප්‍රමාණයක වරදක් ඔහු පිටද පැටවෙයි. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වන විටත් මේ රට අල ගොඩක්ව තිබිණ. 1505 දී මෙරටට පැමිණි ලොරෙන්සෝද අල්මේදා රා බීම පිණිස ස්වදේශිකයන්ගෙන් දහ අතේ ණයට සල්ලි ගත්තාක් මෙන් යහපාලන රජයද ස්වකීය පාලන සමය තුළ ඩොලර් බිලියන විශාල සංඛ්‍යාවක් ණයට ගෙන ආතල් ද ගෙන තිබිණ. ඇත්තම කතාව නම් ගෝඨාභය මුලින්ම අස්වීමට තිබුණේ ජනාධිපති වූ පසු එම ණය තත්ත්වය හරියාකාරව නිරීක්ෂණය කිරීමේදීය. එහෙත් ඒ වනවිටත් ඔහු වියත් මගේ සහ රාජපක්ෂවරුන්ගේ ප්‍රාණ ඇපකාරයෙක්ව සිටියේය. රාජපක්ෂවරුන් මෙවර බලය ගෙන තිබුණේ දේශපාලනය ගැන කිසිත් නොදත් සෙබළකු වූ ගෝඨාභය රාජපක්ෂ නමැති වැඩකරන අපේ විරුවා පෙන්නීමෙනි. ඉන්පසු රාජපක්ෂවරුන් ආණ්ඩුව තුළ සිය සුපුරුදු ගේම් ගසන්නට වූයෙන් වැඩකරන අපේ විරුවා තනිවිය. ගෝඨාභය රාජපක්ෂ මේ කෝච්චියට බෙල්ල තැබුවේ නිස්කාරනේ බව අප අදටත් විශ්වාස කරමු. රාජපක්ෂවරුන් විසින් ඔහු බිල්ලට දෙන ලද බව අපගේ අදහසය.

 මේ අතර රටේ ආර්ථිකය ක්‍රමයෙන් කුණු වන්නට විය. මෙය දරාගත නොහැකිවූ ජනයා 2022 අප්‍රේල් 31 දා  ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස වැටලූහ. ඒ වනවිට ශ්‍රී ලංකාවේ ගෑස් හිඟයක් ඇරඹි තිබුණි. බඩු මිලද වේගයෙන් ඉහළ ගියේය. පෙට්‍රල් පෝලිම මග එමින් සිටියේය. අප්‍රේල් 31 දා ජනතාවගේ ගේ වැටලීම පිළිබඳව පසුදින වාර්තා කළ මේ පුවත්පත රටේ පවතින අසහනකාරී තත්ත්වය විසඳන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේය. ඒත් ඒ අතර මේ ජනාධිපති පත්තර නොකියවන බවද අපට ආරංචි විය. ඉන්පසු මිනිස්සු ගෝඨා ගෝ ගම පිහිටුවා මයිනා ගෝ ගම ද පිහිටුවූහ. අනතුරුව දවසක අරලියගහ මන්දිරයෙන් එළියට පැමිණි මැර කණ්ඩායමක් ගෝඨා ගෝ ගම සිටි නිරායුද අරගලකරුවන්ට පහර දුන්හ. සැබෑ අරගලය පටන් ගත්තේ එතැනිණි. එදිනම අගමැති මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වීමට සිදුවිය. හිස්වූ අගමැති තනතුර සඳහා යොදවන ලද අලුත්ම බිල්ල වූයේ රනිල් වික්‍රමසිංහය. රනිල් ස්වකීය සම්බන්ධතා හරහා මේ රටේ ආර්ථිකය ගොඩදමනු ඇතැයි ජනතාව කල්පනා කළද කිසිවක් සිදුවුණේ නැත. මෙය ලෝකයේ සෙසු රටවල ද විශාල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවකි. ඒ නිසා රනිල්ට ණයට කන්න දීමට කාටවත් වුවමනා නැත. ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, ආහාර මිල වැඩිවීම, බෙහෙත් හිඟය, ප්‍රවාහනය කඩාකප්පල් වීම යන ප්‍රධාන වධ බන්ධන නිසා කෝපයට පත් ජනතාව ගෝඨාභයට ගෙදර යන ලෙස දැන්වූහ. මෙයට දශක කීපයකට පෙර මේ රටේ ආර්ථික අර්බුද හටගත් අවස්ථාවකදී එවකට පැවති යූ එන් පී ආණ්ඩුව ජන අරගලයකට වෙඩි තැබීම නිසා එවකට සිටි භික්ෂුවක් අපවත් වූහ. ඊළඟ දවසේදී එවකට අගමැති වූ ඩඩ්ලි සේනානායක ඉල්ලා අස්විය. මේවා ඉතිහාසය විසින් කියාදෙන ලද දේශපාලන පාඩම් වෙති. ගෝඨාභය කල්තබා ගෙදර ගියේ නම් පෙරේදා දිනයේ පැවති විනාශකාරී තත්ත්වය හටගන්නේ නැත. ඒ අතර රනිල් වික්‍රමසිංහගේ ගෙට ගිනි තැබීම නීච ක්‍රියාවක් සේ අපි දකිමු. මේ අරගලය ආරම්භයේ සිටම අරගලකරුවන් අත ප්‍රචණ්ඩත්වය තිබුණේ නැත. ඔවුහු කිසිදු රාජ්‍ය දේපලකට හානි නොකළහ. ඔවුන් අත තිබුණේ ස්මාර්ට් ෆෝන් එකක් පමණි. රනිල්ගේ ගෙට ගිනි තැබීම වෙනම ගේමකි. ඒ ගේම පිටුපස සිටි අය හෙළිකරදීම මීළඟ ආණ්ඩුවේ වගකීමය.

advertistmentadvertistment
advertistmentadvertistment