අරගලයට දින 50යි – ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසල යුද පිටියක් වෙයි

167

විරෝධතාවයේදී 12 දෙනකුට තුවාල

පිරිස විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

අරගලයට දින 50යි - ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසල යුද පිටියක් වෙයි

කොටුව ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලයට දින 50 ක් සපිරීම නිමිත්තෙන් පෙරේදා (28 වැනිදා) සවස සංවිධානය කර තිබූ විරෝධතාවය කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසලට පැමිණ විරෝධය පාමින් පොලිස් මාර්ග බාධක පෙරළා දමමින් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ දැරීමේදී පිරිස විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර, එහිදී ඇති වූ උණුසුම් තත්ත්වයේදී පුද්ගලයන් 12 දෙනකු තුවාල ලැබූහ.

ඔවුන්ගෙන් සිවුදෙනකු ඊයේ (29 දා) වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව එහි ප්‍රකාශිකාවක් ‘දිවයින’ට පැවසුවාය. මීට අමතරව විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් පස්දෙනකු පොලිස් භාරයට ගත්හ. මෙහිදී අවන්හලක ආහාර ගනිමින් සිටි තරුණයකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන පොලිස් බස් රථයට නංවන අයුරු ද දැකගත හැකි විය.

පසුව විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත් පිරිස මුදාහරින ලෙස පවසමින් විරෝධය පාන්නට වීමත් සමඟ පොලිසිය භාරයට ගත් සියලුදෙනා මුදාහරිනු ලැබූහ.

විරෝධතාවය පෙරේදා පස්වරු 2.30 ට පමණ ආරම්භ කරනු ලැබුවේ කොල්ලුපිටිය මංසන්ධියෙනි. විරෝධතාවයට මහා සංඝරත්නය, පියතුමන්ලා, වෘත්තීය සමිති නියෝජිතයන්, මහජනතාව ඇතුළු තවත් සමාජ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියහ.

එම විරෝධතා පා ගමනට දෙදහසකට අධික පිරිසක් එක්ව සිටියහ. කොල්ලුපිටියේ සිට විවිධ පුවරු අතැතිව, විවිධ දෑ නිරූපණය කරමින් කොළඹ ලෝටස් වටරවුම ඔස්සේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසලට පැමිණියහ. ඒ එන විට පොලිසිය පොලිස් කැරලි මර්දන බළකාය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු දහසකට අධික පිරිසක් පොලිස් මාර්ග බාධක යොදා ජනාධිපති මන්දිරය දෙසට යෑමට නොහැකි වන අන්දමින් අවහිර කර ආරක්‍ෂාව තර කර තිබෙනු දැකගත හැකි විය. මීට අමතරව ඔවුහු කඳුළු ගෑස් ප්‍රහාර සහ ජල ප්‍රහාර රථ ද සූදානම් කරගෙන සිටිනු දැකගත හැකි විය. කෙසේ නමුත් මුල් අවස්ථාවේ අරගලකරුවන් ආරක්‍ෂක අංශ සමඟ ගැටුමක් ඇතිකර නොගනමින් මාර්ගය හරස් කර ජනාධිපතිවරයාට විරෝධය පළ කරන්නට වූහ.

අනතුරුව ඔවුහු භාෂා ත්‍රිත්වයෙන් සංදේශයක් ඉදිරිපත් කරමින් එය ප්‍රකාශ කරන්නට වූහ. ගෝඨා – රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව වහා ඉවත් වීම, මහින්ද – දේශබන්දු ඇතුළු මැයි 9 ප්‍රහාරයේ මහමොළකරුවන් වහා අත්අඩංගුවට ගැනීම, අත්තනෝමතිකව අත්අඩංගුවට ගත් අරගලකරුවන් නිදහස් කිරීම හා ජනතාවට වහා සහන සලසාදිය නොහැකි ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බවට එම සංදේශය මගින් සඳහන් කරනු ලැබීය.

ඉන් අනතුරුව පිරිස පොලිස් මාර්ග බාධක පෙරළාගෙන ඉදිරියට යෑමට උත්සාහ දැරීමේදී උණුසුම් තත්ත්වයක් හටගැනිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥානතිස්ස ජයවර්ධන
 

advertistmentadvertistment
advertistmentadvertistment