අරගලයට පහර දුන්  මැරයන් අල්ලන්නැයි  බල කරමින් රට පුරා  තෙදිනක් විරෝධතා

74

ගෝල්ෆේස් නිර්පාක්‍ෂික අරගලයට පහර දුන් මැරයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අද (17දා) හෙට (18දා) සහ අනිද්දා (19දා) තෙදින රට පුරා විරෝධතා පැවැත්වීමට වෘත්තීය සමිති ව්‍යාපාරය තීරණය කර ඇතැයි වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

ගෝල්ෆේස් අරගලයට පහරදුන් මැරයන් සිදු කළ මැර ක්‍රියාවන්ට ප්‍රතිචාර දැක්වූ මහජනතාව අත්අඩංගුවට ගැනීම සහ ප්‍රශ්න කිරීම වහා නවතන ලෙසත් මැරයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් බලකරමින් මෙම විරෝධතාව පැවැත්වෙන බවත් රවී කුමුදේශ් මහතා කියා සිටී.

ජන අරගලයක් නොවන්නට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වන්නේ නැති බවත් ජන අරගලය රැකගැනීම සහ එහි අපේක්‍ෂාවන් යථාර්ථයක් බවට පත්කිරීම අගමැතිවරයාගේ වගකීමක් බවත් රවී කුමුදේශ් මහතා පෙන්වා දෙයි.

හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සිටි නිල නිවෙසේ සිට ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීමේ ම්ලේච්ඡ සැලසුම ක්‍රියාත්මක කළ සහ එම අරගලයේ සිටි තරුණ තරුණියන්ට පහරදුන් මැරයන් අත්අඩංගුවට නොගන්නා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද රවී කුමුදේශ් මහතා පවසයි.

තත්ත්වය එසේ තිබියදී ගෝල්ෆේස් ජන අරගලයේදී ප්‍රහාරයට ලක්වූ තරුණ අරගලකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමටත් ඔවුන් බිය වැද්දීමටත් ක්‍රියාකරන අතරතුරු එම තරුණ අරගලකරුවන් මැරයන්ට නිරාවරණය කිරීමේ සැලසුම්සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

වසන්ත ලියනගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment