අරගලයෙන් කරදර බව හෝටල් පොලිසියට කියා නෑ

303

ගලධාරි – ටැෆ් හවුස් කළමනාකරුවෝ උසාවියට කියති

කොටුව ගාලුමුවදොර පිටියේ විරෝධතාවේ නිරතව සිටින පිරිස ඒ අවට හෝටල්වල ව්‍යාපාර කටයුතුවලට බාධා කරන බවට පසුගිය 6 වැනිදා පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇතත් සිය සේවාදායකයන් පොලිසියට එවැනි ප්‍රකාශ සිදුකර නැතැයි කොළඹ ගලධාරි හෝටලයේ හා ටැෆ් හවුස් අවන්හලේ කළමනාකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඊයේ (12 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට දැනුම් දුන්හ. 04- පිටුවට

පොලිසියට එවැනි ආකාරයේ ප්‍රකාශ ලබානොදුන් බවට හා පොලිසිය අධිකරණයට අසත්‍ය කරුණු වාර්තා කළ බව සනාථ කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් එම කළමනාකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ අමිල පල්ලියගේ යන මහත්වරු එලෙස අධිකරණයේ කියා සිටියහ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටුවලින් විරෝධතාකරුවන් ඉවත් කිරීමට නියෝගයක් කරන්නැයි පසුගිය 6 වැනිදා පොලිසිය විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කර නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයකු මගින් කරුණු දැක්වීමට දින ලබාදෙන ලෙස පොලිසිය වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරිවරයා ඊයේ අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

පොලිසිය පෙර නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ කරුණු දැක්වීම සනාථ කිරීම සඳහා පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස එම හෝටල් කළමනාකරුවන් නම්කොට තිබිණි.

එම විරෝධතාවට මේ වනවිට සති 4 ක කාලයක් ඉක්ම ගොස් ඇති බැවින් එම ඉල්ලීම කඩිනමින් සිදුකිරීමේ අවශ්‍යතාවක් ඇති දැයි එහිදී පොලිසියෙන් විමසූ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා සෙසු පාර්ශ්වවලට ද දැනුම් දී මාසයක කාලයක් ඇතුළත මෝසමක් මගින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට පොලිසියට නියෝග කොට ලබන ජුනි 13 වැනිදා එම නඩුව යළි කැඳවීමට නියෝග කළේය.

නීතිඥ අංජන රත්නසිරි, අසිත සිරිවර්ධන, කීර්ති තිලකරත්න, නලින් ද සිල්වා, අතුල රණගල, සංජය ගමගේ ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමග ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය හා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස යන මහත්වරු විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියහ. විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ ප්‍රසාද් සිල්වා, නීතිඥ චින්තක ප්‍රනාන්දු ඇතුළු නීතිඥ මණ්ඩලයක් ද පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment