අරගලයේදී අත්අඩංගුවට ගත් බෝපගේ ඇතුළු 9 දෙනාට ඇප

151

ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී ඊයේ (22 දා) අලුයම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥ නුවන් බෝපගේ මහතා ඇතුළු සැකකරුවන් 09 දෙනා පෞද්ගලික ඇප මත මුදාහැරීමට කොටුව වැඩබලන නිල නොලත් මහෙස්ත්‍රාත් නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර මහතා ඊයේ (22) නියෝග කළේය.

සැකකරුවන්ට රු. දසදහස බැගින් වූ මුදල් ඇප හා රු. ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කළ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඇප කොන්දේසි සපුරාලීම සඳහා එම නඩුව ලබන 26 වැනිදා යළි කැඳවීමට ද නියෝග කළේය.

අයුතු ජනරාශියක නිරත වී රජයේ නිලධාරීන්ට බලපෑම් කිරීම, රජයේ දේපළවලට අලාභහානි කිරීම ඇතුළු චෝදනා යටතේ ඔවුනට එරෙහිව නඩු පවරා තිබූ නමුත් එකී චෝදනා සනාථ කිරීම සඳහා ඔවුන්ගේ දායකත්වය කුමන ආකාරයෙන් සිදුකළේ දැයි පැහැදිලි කරන වාර්තා විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම කෙරෙහි අවධානය යොමු කළ මහෙස්ත්‍රාත්වරයා එකී නියෝගය නිකුත් කළේය. සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය යන මහත්වරු ඇතුළු 300 කට ආසන්න නීතිඥ මණ්ඩලයක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment