අරගලයේ නිමාව කොතැනද?

719

ගෝඨා ගෝ හෝම්’’ අරගලය තවමත් ඇත්තේ මහ පාරේය. මේ අරගලය ඇරඹුණේ කොතැනින්ද? හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත් ආදිය ලබා ගැනීමේදී එක්දින සේවාවන් පවතින බව කාලයක සිටම අප කවුරුත් හොඳින් දන්නා කරුණකි. එසේම එක්දින කි‍්‍රකට් තරගද අපට හුරු පුරුදුය.

මේ සියල්ල පරදා වෙනම එක්දින පෙරළියක් සිදු කරන්නට කටයුතු කළ වත්මන් ආණ්ඩුව රටට බත දුන් ගොවියා ඔළුවෙන් හිටවමින් පනවන ලද රසායනික පොහොර තහනම වත්මන් අරගලයේ ජනතා ගර්භාෂය ලෙස මෙහිදී පෙන්වා දිය හැකිය.

මේ අමනෝඥ තීරණයත් සමඟ එදා මුලින්ම පාරට පැමිණියේ රටේ ගොවි ජනතාවය. පොහොර තහනම හමුවේ වී, එළවළු සහ පළතුරු ඇතුළු සාමාන්‍ය කෘෂිකර්මාන්තයට මෙන්ම අපනයන කෘෂිකර්මාන්තයටද එල්ල වූ දැවැන්ත ප‍්‍රහාරය එසේ ගොවි ජනතාව පාරට ගෙන ඒමට හේතු විය. ගොවියෝ එසේ වීදි බැස රජයට එරෙහිව විරෝධතා දක්වද්දී සැබෑ ගොවීන් අතරින් කාටත් නොදැනී ඇතැම් දේශපාලන මතවාදයන්ද ඉස්මතු වෙමින් තිබිණි. එහෙත් එම තත්ත්වය අනාගත ගැටලූවක පෙරනිමිත්තක් ලෙස දකින්නට ගෝඨාභය රාජපක්‍ෂ රජය අසමත් විය.

දිගින් දිගටම දැඩි තීරණයක සිටි ආණ්ඩුව පසුව එකී දැඩි බව ක‍්‍රමයෙන් මෘදුකරමින් ගොවියා දෙස බලන්නට වූයේ සියල්ල කල් ඉකුත් වූ පසුවය. කළ යුතු සහ ගැටලූව වටහාගත යුතු අවස්ථාවේ කිසිවක් සිදු නොවීය. හැටනව ලක්‍ෂයක ඡන්ද පදනම තුළ ඇතිකරගත් අධිතක්සේරුව සියල්ලට හේතු වී තිබිණි. මේ රටේ ගොවි ජනතාවද හැටනව ලක්‍ෂයේ කොටස්කරුවන් බව කිසිවකුත් කල්පනා නොකළේය. තුනෙන් දෙක සහ විස්සද සමඟ ලද රැස් විහිදුණු බලය හමුවේ ආණ්ඩුව සිතා සිටියේ හිසට උඩින් කපුටෙක්වත් ඉගිලෙනු නැතැයි කියාය. මතු දිනක කපුටන් හිසට ඉහළින් ඉගිලෙන අතරෙ හිස මත පහරන තත්ත්වයක් උදා වනු ඇතැයි ආණ්ඩුව නොසිතුවේය.

එනිසා පොහොර ප‍්‍රශ්නය එසේ ඇදී යද්දී කාබනික කියමින් ගෙනා කුණු ගොඩකට වන්දි ගෙවීමද රටම විශ්මිතව බලා සිටියදී රජය සිදු කළේය. එසේම රජය මගින් ගොවීන්ට දුන් ඇතැම් දියර පොහොර නිසා ඒ කුඹුරේ ගොයම බල්ලෝ කන තත්ත්වයක්ද උදා වූහ. මේ හැම එකකින්ම සිදුවූයේ දිනෙන් දින රජය කෙරෙහි ගොඩනැඟෙමින් තිබූ ජනතා උදහස ඉහළ යෑමය.

මේ කාලය වන විට රට තුළ ඩොලර් අර්බුදයක්ද මතු වෙමින් තිබිණි. මේ තත්ත්වය තුළ පාරිභෝගික භාණ්ඩ හිඟයක්ද ඇතිවූ අතර ගෑස් පෝලිම් වැනි මූලික පෝලිම් නිර්මාණය වන්නට වූයේ එහිදීය. ඒ වන විට ගර්භාෂගතව තිබූ අරගලයද වූයේ බිහිවෙන්නට ආසන්න තත්ත්වයකය. මෙසේ ගෑස්, සිමෙන්ති, කිරිපිටි ආදී වශයෙන් විවිධ පාරිභෝගික ද්‍රව්‍ය වෙළෙඳපොළේ හිඟ වෙමින් අරගලය බිහිවෙන්නට ආසන්න වෙද්දීත් ආණ්ඩුව කළේ වගේ වගක් නොමැතිව සිටිමින් එයට තිඹිරි ගෙය සකස් කිරීම විය.

සියල්ල සිදු වූයේ අත්තන ඇට සංකල්ප අනුවය. තණමල්විල න්‍යායටය. ඍජුව නිවැරදිව ගත් තීන්දු තීරණ කිසිත් නොවීය. සිදු කළ සෑම දෙයක්ම රටට මරාලයක්ම විය. රට ඩොලර් අර්බුදයක සිරවී සිටියදී විටෙක මහ බැංකුව දඩාවතේ ගියේය. එහිදී මුදල් අමාත්‍යාංශය කළේ ඉබාගාතේ යෑමය. තවත් විටෙක මුදල් අමාත්‍යාංශය දඩාවතේ යද්දී මහ බැංකුව ඉබාගාතේ ගියේය. විෂය ප‍්‍රාමාණික දැනුමැති රටේ උගතුන් වියතුන් නිවැරදි මඟ පෙන්වා දෙද්දීත් උද්දච්ඡ කමින් හිස උදුම්මවාගත් ඇතැමුන් කළේ දිනෙන් දින රට අගාධයටම ඇදගෙන යෑමය.

අද රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පැහැදිලි හේතුව වූයේ එසේ දඩාවතේ සහ ඉබාගාතේ යමින් රට අගාධයට ගෙන යෑම නොවන්නේද?

මෙසේ ආණ්ඩුව අන්දමන්ද ලෙස කළ දේ හමුවේ ගැටලූ මතුවෙද්දී කවුරු කවුරුත් කල්පනා කළේ කොරෝනා නැට්ටේ එල්ලී දෙව්ලොව යන්නටය. කොරෝනා නිසා සියල්ල සිදුවන බව නිරන්තරයෙන් කියවන්නට වූහ. එහෙත් සාක්‍ෂරතාවයෙන් ඉහළ මේ රටේ වත්මන් පරපුර මෙන්ම වැඩිහිටි ප‍්‍රජාවද ලෝකය පිළිබඳ නොදත් ළිං මැඩියන් නොවන බව දේශපාලන ටිකිරි මොළවලට කල්පනා වූයේ නැත. භාණ්ඩ හිඟයෙන් පෙළුණු ජනතාව මෙසේ පීඩිතව සිටියදී ගෙදර කුස්සියේ තිබුණු ගෑස් සිලින්ඩරය හෙණ හඬ දෙමින් පුපුරා යන්නට වූයේ මේ අතරේය. එලෙස ගෑස් සිලින්ඩර පුපුරා යමින් ජනතාවගේ නිවාස දැවී අලූවෙද්දීත් ආණ්ඩුව කරනු ලැබුවේ කුමක්ද? එකී ව්‍යසනයෙන් වහා රටත් ජනතාවත් ගලවා ගැනීමට කිසිවකුත්ම සිටියේ නැත. සිලින්ඩර නොවේ පුපුරන්නේ ගෑස් යැයි ආදී වශයෙන් ජනතාවගේ දුක වේදනාව හාස්‍යයට ලක් කළ ආණ්ඩුවේ ඇතැම්හු විකට කතා කියද්දී ගැටලූවට හේතුව මෙයයි කියමින් රටට කරුණු පෙන්වා දී එය විසඳන්නට කිසිවකුත්ම කටයුතු නොකළහ.

මේ හේතුවෙන් දිගින් දිගටම රට පුරා ගෑස් පිපිරීම් පන්සියයකටත් අධික ප‍්‍රමාණයක් සිදුවෙද්දී අවසානයේ එය නිමාවූයේ මාස එකහමාරකට පමණ පසු ජීවිත දෙකක්ද අහිමි වීමෙන් පසුවය. ආණ්ඩුවේ වගකීමේ ස්වභාවය තිබුණේ එතරම්ම අති විශිෂ්ඨ පහත් තැනකය. ඒ අන්දමට සිලින්ඩර පිපිරෙන තත්ත්වය සමනය වී ගියද ගෑස් හිඟය පෙර සේම විය. අදටත් එය එසේම පවතින්නකි. මේ අතරේ ඩොලර් නැතිවීම හේතුවෙන් ඉන්ධන හල් ඉදිරිපිට ඇතිවූ තෙල් පෝළිම්ද දිනෙන් දින දිගු වන්නට විය. ඉන්ධන නොමැති වීමෙන් දුම්රිය සහ බස් ධානයට පවා බාධා එල්ල වෙද්දී එයින්ද විඳවනු ලැබුවේ දුප්පත් ජනතාවය.

මෙහිදී පෝළිම්වල විඳවන ජනතාව ආණ්ඩුවට හතර අතේ බැණ වැදුණද ඒ වන විට රට කරවන්නට ගොස් රටම නන්නත්තාර කළ බලධාරීන්ට කිරීමට ඉතිරිව තිබණේ නෑසුකන්ව සියල්ල දෙස බලා සිටින්නටය. දෙන්නට උත්තරයක් කාටවත්ම තිබුණේ නැත. මේ අතරතුර විදුලිබල මණ්ඩලය තුළ කි‍්‍රයාත්මක ඉංජිනේරු මාෆියාව දියත් කළ පැහැදිලි කුමන්ත‍්‍රණයකට අනුව දිනෙන් දින ජලාශ සිඳී යද්දී ජල විදුලිය උත්පාදනයත් ඞීසල් නොමැතිකමින් අනෙකුත් බලාගාරවල කටයුතු අඩාල වීමත් හේතුවෙන් විදුලි කප්පාදුවකට මුහුණ දෙන්නටද රටේ ජනතාවට සිදුවූහ.

ඒ අන්දමට ආරම්භ වුණු විදුලි කප්පාදුව ඉකුත් මාර්තු මස තිස් එක්වැනිදා පැය දහතුනක් දක්වා දීර්ඝ කෙරෙද්දී අවසානයේ සිදුවූයේ බිහිවන්නට සිටි අරගල බබා අණ්ඩුව විසින් සීසර් කර එළියට ගැනීම විය. මේ අරගලය නිර්මාණය වූයේ එසේ නොවේද?

අද පාරට පැමිණ ඇති ජනතා නැගිටීම සිදුවන්නට පෙර සර්ව පාක්‍ෂික සමුළුවක් තුළින් රටේ අර්බුදයට විසඳුම් සෙවීමට ආණ්ඩුව කාය ඉකුත් වූ අසාර්ථක උත්සහයක නිරත වුවද එයද ව්‍යර්ථ වී ගියේය. ඒ අනුව දැන් ඒ අරගලය ඇත්තේ මහ පාරේය. එය ආරම්භ වූයේ නිර්පාක්‍ෂික කි‍්‍රයාන්විතයක් ලෙසිනි. එහෙත් පසුව ඒ තුළ වූ දේශපාලනයේ නිරුවත අනාවරණය වූරටම රටම බලාසිටියදීය. එසේම එහි සැඟවී තිබූ එන්ජී ඕ කුමන්ත‍්‍රණ සහ විජාතික මැදිහත්වීම්ද මේ වන විට එළියට පැමිණ ඇත. ආරම්භයේදී අරගලයට පණ දුන් රටේ ජනතාව ගෝඨා ගෝ හෝම් කියන අතරේ පාර්ලිමේන්තුවේ 225 ම එපා කීහ. ජනතා නියෝගය වූයේ ජනපති,

අගමැති සහ කථානායකවරයාද ඇතුළුව පාර්ලිමේන්තුවේ සිටින වත්මන් මන්ත‍්‍රීවරුන් සියලූ දෙනා ඉවත් විය යුතුයි යන්නය. කෙසේ වෙතත් ඇරඹී දින දෙක තුනක් තුළ දේශපාලනීකරණය වූ අරගලය තුළින් අද මතුවන හඬ වී තිබෙන්නේ ගෝඨා ගෝ හෝම් යන්න පමණය. එසේ කියන මිනිස්සු තවමත් මහ පාරේ සිටින්නාහ. කුමක් වුවද ඒ දුක් විඳිමින් වීදි බැස සිටිනුයේ ආණ්ඩුව නිසා අසරණ වූ මේ රටේ ජනතාවය.

ඔවුන් එසේ අසරණව විඳවද්දී අරගලය නිසාම මේ වන විට රටේ පාලනය පිළිබඳ උග‍්‍ර ගැටලූවක්ද නිර්මාණය වී ඇත. ආණ්ඩුවට එරෙහිව මේ අන්දමට ගොඩනැඟුණු ජනතා විරෝධය හමුවේ ව්‍යවස්ථානුකූල මාර්ගයෙන් බැහැරට යමින් ඉකුත් දා රජයේ ඇමැති මණ්ඩලයද ඉවත් විය. ඒ සමඟම ඇමැතිකම් භාරගෙන සර්වපාක්‍ෂික පාලනයක් තුළින් රට ගොඩනැඟීම සඳහා එක් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියලූ දේශපාලන පක්‍ෂවලට විවෘත ආරාධනාවක් කරනු ලැබුවද මේ දක්වා කිසිවකුත් එයට ඉදිරිපත් වූයේද නැත. තවමත් ඇසෙමින් තිබෙන්නේ ගෝඨා ගෝ හෝම් යන්න පමණය. මහ පාරට ආ රටේ ජනතාව එසේ හඬනඟද්දී ඉකුත් සිකුරාදා වන විට දින තුනක් පාර්ලිමේන්තුව රැස්වුවද ආර්ථික අර්බුදය සමඟ ඇතිවී තිබෙන වත්මන් දේශපාලන අර්බුදයට විසඳුමක් ලබා දෙන්නට මිනිස්සු කියන අපේ දෙසීය විසිපහ හෙවත් සියලූ දේශපාලනඥයෝ අදටත් අසමත්ව සිටින්නාහ.

අරගලයේ නිමාව කොතැනද?

පසුගිය කාලයේ නම් රටේ පවතින අර්බුදය විසඳීමට තමන්ට හැකි යැයි පවසමින් ඇතැම්හු විවිධ ප‍්‍රකාශ සිදු කරනු ලැබූහ. එහෙත් තවමත් දේශපාලන වශයෙන් බෙදී සිටීම මිස එකට එක්ව පාර්ලිමේන්තුවේ බහුතරය තුළින් රජයක් පිහිටුවාගෙන ඒ යුතුකම රට වෙනුවෙන් කරන්නට කිසිවෙකුත්ම නැත. දාර්ශනික ලීලාවෙන් විවිධ දේ මාධ්‍ය ඇතුළු විවිධ තැන්වලදී ප‍්‍රකාශ කරනු ලැබුවද ඇතැම් විට රට තුළ අද පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ආණ්ඩු කරන්නට ගොස් සදාකාලිකව දේශපාලන වශයෙන් අනාථ වන්නට සිදුවනු ඇතැයි යනුවෙන් මහා භීතියකින් ඇතැමුන් පෙළෙමින් සිටීම එයට හේතු වී තිබෙනවාද විය හැකිය. එනිසාමදෝ පාර්ලිමේන්තුව රැස් වූ සෑම අවස්ථාවකදීම එකිනෙකාට ඇඟිලි දිගු කරමින් විවිධ චෝදනා එල්ල කර කුලල් කා ගැනීම හැර කිසිවකුත් රට වෙනුවෙන් කළ දෙයක් නැත්තාහ.

වචනයකින් හෝ ජනතාවාදී අදහස් දැක්වීමක් සිදු කළේ නම් එසේ කරනු ලැබුවේ හිටපු ජනමාධ්‍ය ඇමැති ඩලස් අහලප්පෙරුම මහතා සහ සමඟි ජනබලවේගය මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දු මහතා මෙන්ම ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී මහාචාර්ය ගුණපාල රත්නසේකර මහතා පමණි. වරෙක වේගවත් කතාවක් කරමින් පවතින අර්බුදය හමුවේ සියලූ දෙනා එක්වී කටයුතු නොකරන්නේ මන්දැයි ප‍්‍රශන් කළ හරින් ප‍්‍රනාන්දු මන්තී‍්‍රවරයා දේශපාලනඥයන් වශයෙන් සමස්ත පාර්ලිමේන්තුවම ඒ පිළිබඳව ලැජ්ජා විය යුතු යැයි ද ප‍්‍රකාශ කළේය. එසේම ඔහු තවත් වරෙක අර්බුදයට විසඳුමක් ලබා දීමට සියලූ දෙනා අසමත් නම් තවදුරටත් වීදි බසින ලෙස ජනතාවට ආයාචනා කරන අතරේ එසේ වුවහොත් මේ රට තව තවත් අරාජික වන බව වේදනාත්මකව පැවසීය.

පවතින ජනතා අරගලය පිළිබඳ අදහස් දක්වමින් එය ඛේදවාචකයක් බවට පත්වීමට පෙර ජනතාව දෙස විත්තිකරුවන් ලෙස නොව පැමිණිලිකරුවන් ලෙස බලන්නට සියලූ දේශපාලනඥයන් කටයුතු කළ යුතුව ඇතැයි ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. ජනතා හඬට කන් දෙමින් එසේ කටයුතු නොකළහොත් සියල්ල මහා විනාශයකින් අවසන් වනු ඇතැයිද ඒ මහතා අනතුරු අඟවනු ලැබීය. එසේම අර්බුදයට විසඳුම සිදු විය යුත්තේ මේ අන්දමට යැයි පෙන්වා දෙමින් පාර්ලිමේන්තුවේදී ඉකුත් සිකුරාදා ඉතා වැදගත් කරුණු පෙන්වා දීමක් සිදු කළ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී මහාචාර්ය ගුණපාල රත්නසේකර මහතා පැහැදිලි වැඩපිළිවෙළක් තුළින් රට ගොඩනැඟීමට එක්වන්නැයි පාර්ලිමේන්තුවේ සමස්ත නියෝජිතයන්ට ආයාචනා කළේය. උහුලා ගත නොහැකි දුක සහ ජීවන බර ඉදිරියේ රටේ ජනතාව මහපාරට පැමිණ විඳවමින් සිටියද පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී සියලූ දෙනා එකිනෙකාට චෝදනා කරගනිමින් සිටීම හැර ඉන් එහා සිදුවූ දෙයක් නම් දක්නට නොවීය. රටම අර්බුදයක තිබියදී වරක් ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමින්ද විජේසිරි අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස සඳහන් කළ කථානායකවරයා සභාවේ කටයුතු මඳකට අත්හිටුවීමට ද කි‍්‍රයා කළේය.

ජනතා නියෝජිතයන් ලෙස මැතිසබයට ගිය තිස්සකුට්ටි ආරච්චි සහ චමින්ද විජේසිරි මන්තී‍්‍රවරුන් අද මෙරට කි‍්‍රයාත්මක මජර දේශපාලනයේ තරම රටට පෙන්වා දුන්නේ එසේය. ඔවුන් තවත් අතකට පෙන්වා දුන්නේ තමන් වැනි ජනතා නියෝජතියන් ලබන්නට තරම් ලක් මව පත්ව ඇති අවාසනාවේ තරමය. විසඳාගත නොහැකි දරුණු අර්බුදයක රටම සිරවී සිටියදී පාර්ලිමේන්තුවට යන ජනතා නියෝජිතයන් මෙසේ හැසිරෙන්නේ නම් ඔවුහු මොනතරම් අශිෂ්ටයෝද?

රට තුළ අරගලයක් කි‍්‍රයාත්මකව තිබුණද මේ වන විටත් පාර්ලිමේන්තුවේ පවතින දේශපාලන බෙදීම් නිසා තවමත් එහි බහුතර බලය හිමිවී ඇත්තේ ආණ්ඩු පක්‍ෂයටය. ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය මෙන්ම හවුල්කාර පක්‍ෂ මන්තී‍්‍රවරුන් සහ පොදුජන පෙරමුණ මන්තී‍්‍රවරුන් කිහිප දෙනකු මේ වන විට ස්වාධීන වී සිටියද තවමත් ආණ්ඩු පක්‍ෂයට ආසන 117 ක් ලෙස බහුතරය හිමිවී ඇත.

මේ තත්ත්වය තුළ නව කැබිනට් මණ්ඩලයක් පත් කරමින් අලූත් ගමනක් ආරම්භ කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රධාන රජය කි‍්‍රයාත්මක වෙමින් ඇත. එහෙත් එයටද අද එල්ල වෙමින් තිබෙන්නේ දැඩි විරෝධයකි. එසේ විරෝධය දක්වන විපක්‍ෂ කණ්ඩායම් කියා සිටින්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු රාජපක්‍ෂවරුන් ජනතා හඬට කන්දී දේශපාලනයෙන් ඉවත් විය යුතුයි කියාය. එසේ කළහොත් රට භාරගෙන කටයුතු කරන්නට සූදානම් බවද ඔවුහු පවසන්නාහ. ප‍්‍රධාන විපක්‍ෂය වන සමඟි ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අදහස එය වී ඇත. එහෙත් එය කිසි විටෙකත් සිදු නොවන්නක් විය හැකිය. එසේ වුවහොත් ජනතා අරගලය නොනවතිනු ඇතැයි විපක්‍ෂයේ මතය වී ඇත. මින් කියැවෙන පැහැදිලි කතාව වන්නේ කුමක්ද?

මේ රටේ ජනතාව ගෝඨා ගෝ හෝම් කියමින් පාරට පැමිණියද ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එඩිතරව රට භාරගෙන ජනතාවට සේවය කරන්නට කිසිවකුත් නොමැති බවය. සියලූ දෙනා කරනුයේ නොකෙරෙන දේ පවසමින් කාලය කා දැමීමය. එහි ඇති පැහැදිලි ඇත්ත වන්නේ රටට පෙනෙන්නට එකිනෙකා කා ගැනීම සහ පසුව එකිනෙකා රැක ගැනීමේ ක‍්‍රමවේදයට අනුව කටයුතු කිරීම හැර වෙනත් දෙයක් කිසිවකුත් තුළ නැතැයි යන්නය. එනිසා අරගලය ඉදිරියට ගියහොත් ඉන් වාසි ලබන්නේද දේශපාලනඥයන්මය. ඛේදනීය තත්ත්වයකට ඇදී ගියහොත් එයින් විඳවන්නේ ජනතාවය. අහිමි වන්නේ මිනිස් ජීවිතය. ව්‍යවස්ථානුකූලව මිස රටේ ජනාධිපතිවරයා අරගලයකින් ඉවත් කළ නොහැකිය. එය සිදු කළ හැකි වන්නේ දෝෂාභියෝගයකින් හෝ මැතිවරණයක් තුළිනි. අද රට මැතිවරණයකට ගමන් කළ හැකි තැනක කොහොත්ම නැත. එසේම ජනාධිපතිවරණයක් පැවත්වීමට තවත් දෙවසරක් බලා සිටිය යුතුය. එය පැහැදිල සත්‍ය තත්ත්වය වන්නේය.

එසේ තිබියදී දිගින් දිගට ඇදී යමින්් රට තුළ පවතින අරගලය හමුවේ දෙමළ බෙදුම්වාදී දෙමළ දේශපාලනය සිය අරමුණු වෙත ගමන් කරමින් සිටින බවක්ද පෙනෙන්නට ඇත. දකුණේ ජනතාව ආරක්‍ෂක අංශවලට විරෝධය දක්වන බව පෙන්වා දෙමින් තම ජනතාවද එදා එය කියා සිටි බව පවසන ඔවුහු දෙමළ ජනතාවගේ අයිතිය ලබා දිය යුතුයි පාර්ලිමේන්තුවේදීම පවසන්නාහ. ඒ අතරේ අරගලය දෙස බලා යුරෝපා කොමිසම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පමණක් නොව ඇතැම් විදේශ තානාපතිවරුන්ද විවිධ ප‍්‍රකාශ සිදු කරන්නේය. මෙරට සංචාරයන්ට පැමිණ සිටින විදේශ සංචාරකයන් පවා ආණ්ඩුවට එරෙහිව කතා කරන තැනට වැඩ සිද්ධ වී අවසන්ය.

ගෝඨාභය රාජපක්‍ෂ රජයේ ජනතාවාදී නොවුණු බොහෝ තීන්දු තීරණ ඉදිරියේ ජනතා දුක වේදනාව පුපුරා යද්දී මේ මොහොත වන විට විවිධ බලවේග ඒ පසුපස කි‍්‍රයාත්මක වෙමින් තිබෙන්නේ එලෙසිනි. එය වත්මන් අරගලය දෙස බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන්නකි. එසේ වී තිබෙන්නේ ඇයි?

මෙරට ජනතාව පාරට එන තැනට ආණ්ඩුව කටයුතු කරද්දී සහ ඊට එරෙහිව ජනතාව වීදි බසිද්දී එය පාලමක් කර ගන්නා කිසිවකු විසින් හෝ රට වෙනත් මානයකට තල්ලූකර සිය අරමුණු ඉටුකර ගැනීමට කි‍්‍රයාත්මක වීමක් ඒ තුළ තිබේද?

අද රටේ ජනතාව අණ්ඩුවට එරෙහිව දක්වන විරෝධය ඉතාම සාධාරණය. එහෙත් අප මේ මොහොතේ එවැනි කුමන්ත‍්‍රණ පිළිබඳවද කල්පනා කළ යුතුව ඇත. සිදු වෙමින් තිබෙන්නේ එවැන්නක් නම් එහි අවසානය කුමක් වනු ඇතිද?

අවසානය කුමක් වුවත් එයින් රටට හොඳක් නම් සිදුවීමට කිසිසේත්ම ඉඩක් නැත. එහිදී රට ඉදිරියේ සියලූ චෝදනා එල්ල වන එකම විත්තිකරුවා බවට ගෝඨාභය රාජපක්‍ෂ පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි වනු ඇත. මේ උදා වී තිබෙන්නේ රටේම ආදරය දිනා පළමු පුරවැසියා බවට පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා එලෙස සමස්ත රටවැසියන්ගේම චෝදනාවට ලක්වී සමුගෙන යෑමට නියමිත මොහොතද? මෙතෙක් ආණ්ඩුව කළ කී දේ තුළින් නිර්මාණය වූ වර්තමානය නිමාවී ළඟා වන අනාගතය විසින් නුදුරේදීම රටට එය පහදා දෙනු ඇත. එසේ වුවහොත් මෙරට දේශපාලනඥයන්ට එමඟින් ලබා දෙන සංඥාව සහ කියා දෙනු පාඩම ඉතිහාසගත වනු ඇත. එසේ නොවුණහොත් ගෝඨාභය රාජපක්‍ෂ දේශපාලනය ඉතිහාසයේ ඉහළින්ම සටහන් වනු ඇත

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment