අරගලයේ පියතුමාට දැඩි කොන්දේසි මත ඇප

163

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් පසුගිය මැයි 28 වැනිදා කොළඹ බැංකු මාවතට ඇතුළු වී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීම සහ පසුගිය ජූලි 09 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වීම යන චෝදනා යටතේ පවරා තිබූ නඩුවල සැකකරුවකු ලෙස නම්කර තිබූ අමිල ජීවන්ත පීරිස් පියතුමා දැඩි ඇප කොන්දේසි පනවා රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (12 දා) නියෝග කළේය.

අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළක්වන නියෝගයක්ද නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනීසිට ප්‍රකාශ ලබාදෙන ලෙසටද සැකකරුට නියෝග කළේය.

සැකකරු එකී වැරදිවලට සක්‍රියව දායකත්වය දැක්වූ අයකු වන බැවින් ඔහු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය දක්වන බව විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.

ආගමික පූජකවරයකු වන සිය සේවාදායකයා එකී අරගලයට සක්‍රිය දායකත්වය දක්වා ඇත්තේ ඔහුගේ පෞද්ගලික උන්නතිය වෙනුවෙන් නොව පොදු මහත් ජනසමාජයම පීඩාවට පත්කළ රටේ පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන්ට එරෙහිව වන බවත් පාලකයන් සිදු කළ යුත්තේ අරගලකරුවන් දඩයම් කිරීම නොව ජනතාව පීඩාවට පත්කරන ගැටලුවලට දැඩි විසඳුම් ලබා දීම බවත් පවසමින් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න මහතා කළ කරුණු දැක්වීම සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කළේය.

නීතිඥ උදාර මුහන්දිරම්ගේ, චමින්ද අතුරෙකෝරල, තිලිණ පුංචිහේවා, කේජිත කෝරලගේ, එරන්ද යකන්දාවල හා ධනේශ් අර්සකුලරත්න යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න මහතා ජීවන්ත පීරිස් පියතුමා වෙනුවෙන් පෙනීසිටියේය. වෙන් වෙන්ව පැවැත්වූ නඩු දෙක ලබන 26 දා, ඔක්තෝබර් 07 වැනිදා යළි කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරයා දින නියම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment