අරගලයේ වීඩියෝ සමාජ මාධ්‍යවලට යැවූ කෙලී යවයි

474

‘2019 ඇවිත් මෙහි රැඳී ඉඳලා: වීසා අවලංගු කෙරේ
15 දා වන විට රටින් පිටවිය යුතුයි

“ඔබට ආදරය කිරීම වැරදි නම්, මට නිවැරදි වීමට අවශ්‍ය නැත” – කෙලී කියයි

වෛද්‍ය හේතු මත මෙරටට පැමිණ සිටියදී ගාලුමුවදොර අරගලයේ වීඩියෝ සමාජ ජාලාවලට මුදා හැරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති ස්කොට්ලන්ත ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh fraser) නම් තරුණියගේ මෙරට රැඳී සිටීමේ වීසා බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අවලංගු කර ලබන සඳුදාට (15 දා) පෙර මෙරටින් පිටවන ලෙස දැනුම් දෙන ලදී.

ඇය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ඇතුළු පාර්ශ්ව කිහිපයකින් ආගමන විගමන දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිලි සැලකිල්ලට ගෙන දින 07ක් ඇතුළත ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඇයට දැනුම් දුන් බවත්, ඒ අනුව ඇය දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මෙරටට පැමිණෙන බව පවසා පැමිණ වීසා කොන්දේසි කඩකරමින් කටයුතු කර ඇති බව තහවුරු වීම නිසා ඇයට මෙරට රැඳී සිටිය හැකි වීසා කාලය අත්හිටුවීමට පියවර ගත් බවත් එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

බ්‍රිතාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයක් හිමි ඇයට ගාලුමුවදොර පැවැති විරෝධතා සමාජ ජාලා වෙත මුදා හැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ බවත්, ඒ අනුව සිදුකරන ලද විමර්ශනයකින් පසු තහනම පැනවූ බවත් එම ප්‍රකාශකයා කීය.

ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම යටතේ පැනවිය හැකි අවම නීතිය යටතේ ඇයට එරෙහිව කටයුතු කර තිබෙන බවත්, වීසා අවලංගු කිරීම නිසා ඇයට 15 වැනිදායින් පසු මෙරට රැඳී සිටීමේ හැකියාවක් නොමැති බවත් එම ප්‍රකාශකයා තවදුරටත් කීය.

මෙම තරුණිය 2019 වර්ෂයේදී මෙරටට පැමිණ තිබෙන බවත්, එම වර්ෂයේ සිට මෙරට රැඳී සිට දෙවතාවක් පමණ විදෙස්ගත වී නැවත පැමිණ ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.

වීසා බලපත්‍රය අවලංගු කර තිබෙන කෙලී ෆ්‍රාසර් තරුණිය ඊයේ (11 දා) සිය ෆේස්බුක් ගිණුමේ ලුතර් ඉන්ග්‍රම්ගේ සටහනක් උපුටා දක්වමින් මෙසේ ප්‍රකාශ කර ඇත.

“ඔබට ආදරය කිරීම වැරදි නම්, මට නිවැරදි වීමට අවශ්‍ය නැත.”

මේ සියල්ල ගෝඨාගෝගම ආරම්භ වූ ආකාරයයි. ආණ්ඩුව ජනතාවට පහරදී ආයෙත් බයක් ඇති කරන්න කලින්, අහිංසක විරෝධතාකරුවන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීම් සහ බොරු චෝදනාවලට පෙර, අමානුෂික සහ අවමන් සහගත සැලකීමට පෙර, රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට පෙර, රාජ්‍ය ප්‍රචාරක මාධ්‍ය ඔබට ගෙවල් ගිනි තිබ්බා කියලා චෝදනා කරන්න කලින් එකමුතුව සහ සහයෝගිතාවයෙන් කටයුතු කරන්න.

“ඔබ බියෙන් මිදී එකට වැඩ කරන විට ඔබ ඇදහිය නොහැකි තරම්ය. ඒක කවදාවත් අමතක කරන්න එපා. මේකේ කොටසක් වෙන්න ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. ඔබගෙන් බොහෝ දෙනෙක් හමුවීම ගැන ආඩම්බර වෙමි. මට මේ රටට උදව් කිරීමට බොහෝ අදහස් සහ සැලසුම් තිබේ.”

“මට මෙහි වැඩ කිරීමට අවශ්‍ය බොහෝ සමාජ ව්‍යවසායන් බොහෝ දෙනකුට ප්‍රතිලාභ ලබාදෙන බව මම දනිමි. මාව පිටුවහල් කිරීම මේ රටට කරන දැවැන්ත වරදක්. සිස්ටම් චේන්ජ් එක තමයි ඔය පාරට ආවේ. ඒක අමතක කරන්න දෙන්න එපා. ඔබේ දරුවන් තමන්ට උරුම ලෝකය ගැන ස්තුතිවන්ත වන ආකාරයෙන් ජීවත් වන්න. එය අවසන් වනතුරු එය අවසන් නොවේ. කුමක් සිදු වුව ද මම මෙහි නිවැරදි දේ කළ බව මම දනිමි.”

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment