අරගලයේ සම්මුතිය දිනවන්න අවිවාදයෙන් කැප වෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  

95

සර්ව පාක්ෂික අරගල බිමෙන් එළිදැක්වූ කරුණු 6කින් යුතු සම්මුතිය දිනවීම සඳහා අවිවාදයෙන් කැප වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

‘අරගලය දිනවන සම්මුතිය’ මැයෙන් සර්ව පාක්ෂික අරගලකරුවන් සංවිධානය කර තිබූ වැඩසටහනට එක්වෙමින් ප්‍රේමදාස මහතා මේ බව කීය.

කොළඹ රමාඩා හෝටල් පරිශ්‍රයේදී මෙම වැඩසටහන පැවැත්විණි.

ප්‍රජාතන්ත්‍රවාදය රජයන රටක් ස්ථාපිත කරලීමට අරගලයේ නිරත ජනබලය ගනු ලබන උත්සාහය පිළිබඳව සිය ප්‍රසාදය හිමි වන බව ද ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

විධායකය යනු ජනාධිපතිවරයා පමණක් නොවන බව පැවසූ විපක්ෂ නායකයා ඔහුගේ බලතල ව්‍යවස්ථාදායකය දක්වාම දිවෙන බව ද කීය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව ස්ථිර මතයක තමන් මෙන්ම තම පක්ෂය ද එළැඹ සිටින බව ද ඔහු එහිදී කියා තිබේ.

අරගලයේ ක්‍රියාකාරිකයෙක් එහිදී අදහස් දක්වමින්, මෙසේ පැවසීය.

‘අපි සියලුම දෙනා පුරවැසියන්’ ලෙස මේ රට ගොඩනැඟීමට එකතු වෙමු. පාට පක්ෂ වෙන් කරලා අපේ හීනයක් වුණු ලස්සන රටක් හැදීමට අපි හැමෝම එකතු වෙමු. පටු අරමුණු පැත්තකින් තියමු. ලේ වැගිරීමකින් තොරව සාමකාමීව මේ අරගලය ජයග්‍රහණය කිරීමයි අපේ අරමුණ.”

මෙම සමුළුවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, අනුර ප්‍රියදර්ශන යාපා, අසාද් සාලි, රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, ජී. එල්. එම්. අතාවුල්ලා යන මහත්වරුන් ද එක්ව සිටි අතර ජන අරගල ව්‍යාපාරය නියෝජනය කරමින් තරුණ කණ්ඩායමක් ද එක්ව සිටියහ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment