අරගලයේ හිතවතා රත්‍රං බඩු රැගෙන පලා යයි

891

ගාලුමුවදොර අරගල භූමියේදී 64 හැවිරිදි විශ්‍රාමික පාසල් ගුරුවරියක සමඟ හිතවත් වී ඇය පැළඳ සිටි රන් මුදු දෙකක් සහ රන් වළලු දෙකක් රැගෙන මිනුවන්ගොඩ දී අතුරුදන්ව ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

පැමිණිලිකාරිය ගාලුමුවදොර පිහිටි අරගල භූමියට ගිය අවස්ථාවේ එම අරගල භූමියේ සිටි අයකු හඳුනාගෙන තිබේ. ඔහු ද ගුරුවරයකු බව ඇයට පවසා ඇති බව පොලිසිය පවසයි. අරගල භූමියේදී හඳුනාගත් හිතවතා පසුව විශ්‍රාමික පාසල් ගුරුවරිය මිනුවන්ගොඩ නගරයේ දී හමුවී තිබේ. ඇය පැළඳ සිටින රත්තරං මුදු දෙක සහ රත්තරං වළලු දෙක පැරණි මෝස්තරයට අයත් හෙයින් නව විලාසිතාවන්ට සකසා ගන්නා ලෙස හිතවතා ගුරුවරියට පවසා ඇති බව පොලිසිය පවසයි. අවශ්‍යනම් නව විලාසිතාවන්ට සකසා දිය හැකි බවත් හිතවතා ගුරුවරියට පවසා ඇත. හිතවත්කම් පෑ වංචනිකයාට හසුවූ ගුරුවරිය ඇය පැළඳ සිටි රන් මුදු දෙක සහ රන් වළලු දෙක නව විලාසිතාවන්ට සකසා ගැනීම සඳහා හිතවතාට ලබා දී ඇති බව පොලිසිය කීය. රන් භාණ්ඩ

රැගෙන ගිය හිතවතාගේ ජංගම දුරකථනය විසන්ධි වීමෙන් අනතුරුව තමා වංචාකාරයකුට හසුවී ඇති බව තේරුම්ගත් විශ්‍රාමික පාසල් ගුරුවරිය මිනුවන්ගොඩ පොලිසියට පැමිණ මෙසේ පැමිණිලි කර තිබේ.

මිනුවන්ගොඩ ටෝනි කරුණානායක
 

advertistmentadvertistment
advertistmentadvertistment