අරගලය අස්සේ පිස්සු කෙළින මිනිස්සු

928

ගෝඨා ගෝ හෝම්’ යන සටන්පාඨය යටතේ වර්තමාන ආණ්ඩුවට සහ එහි පාලකයින්ට විරෝධය පාමින් ගාලු මුවදොර පිටියට ජනතාව එක්රැස්වී සති තුනකුත් ඉක්ම ගොසින්ය. එලෙස අරගල කිරීමේ අයිතියක් ජාති ආගම් භේද නොසලකා ජනතාවට හිමිව තිබේ. මෙම ලිපිය ලියන මොහොත වන විටත් එම අරගලය ක්‍රියාත්මක වෙමින් පවතී. වර්තමාන රජයට සහ එහි පාලකයින්ට විරුද්ධව ගාලු මුවදොර පිටියේ පවත්වාගෙන යන අරගලය පිළිබඳව අපි කිසිවක් නොකියමු. එහෙත් අරගලයට මුවාවී තම තමන්ගේ පෞද්ගලික මෙන්ම වෙනත් අවශ්‍යතාවයන් සපුරා ගන්නා පිරිසක්ද එම භූමියෙන් බිහිවී තිබේ. එවැනි පිරිස් නිසා සැබෑ අරගලකරුවන් දෙසද ජනතාව වපර ඇසින් බැලීමට පටන් ගෙන තිබේ. මෙම ලිපියේ ප්‍රධාන අරමුණ අරගල භූමිය අල කිරීමට පැමිණි එම පිරිස් ගැන හෙළිදරව් කිරීමයි.

නිලන්ත බම්බලපිටිය ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයෙකි. සම්බාහන මධ්‍යස්ථාන කිහිපයක අයිතිකරුවෙකි. ඔහු ද පසුගිය දින ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට කිහිප වතාවක්ම සහභාගි විය. ඔහුගේ සැබෑ අරමුණ වූයේ උද්ඝෝෂණයට සහය වීම නොව ඒ හරහා තම පෞද්ගලික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමයි. ඒ අනුව දින කිහිපයක් ඔහු උද්ඝෝෂණ භූමිය නිරීක්ෂණය කළේය. එලෙස නිරීක්ෂණය කළ ඔහු දිනක් තම සම්බාහන මධ්‍යස්ථානයක කළමනාකරුවකු සමඟ මෙලෙස සාකච්ඡා කළහ.

“අනිල් පහුගිය දවස් දෙක තුනේ මම හිටියේ ගෝල්ෆේස් එකේ.”

“එහෙමද සර්. රට වෙනුවෙන් මිනිස්සු එතන හොඳ අරගලයක් කරනවා නේද?”

“රට වෙනුවෙන් අරගල කරන පිරිස අතරේ ආතල් එකට එතැනට යන එන පිරිසකුත් ඉන්නවා.”

“ඇත්තද?”

“ඔව් ඔව් මම හොඳටම දැක්කා.”

“අපේ මිනිස්සු කොහොමත් එහෙමනේ.”

“ඒක නොවෙයි මම කියන්න ගත්තේ.”

“එහෙනම් මොකක්ද සර්.”

“අපේ ස්පාවලට මේ දවස්වල බිස්නස් අඩුයි නේද?”

“ඔව් බිස්නස් නම් ටිකක් අඩුයි.”

“අපි මෙහෙම වැඩක් කරමු.”

“ඒ මොකක්ද සර්.”

“අපේ වැඩ කරන කෙල්ලො ටිකක් උද්ඝෝෂණය කරන තැනට දාමු. එතනට එනවා කාලා බීලා ආතල් ගන්න සෙට් එකකුත්.”

“ඉතින් අපේ කෙල්ලෝ ගිහින් මොනවා කරන්නද?”

“කරන්න තියෙන්නෙ මෙච්චරයි. එතන ආතල් ගන්න එන අයත් එක්ක සෙට් වෙන එක විතරයි. ඊට පස්සේ කෙල්ලන්ට කියන්න උන් එක අපේ හොටෙල් එකට එන්න කියලා. එතකොට අරගලය අස්සේ අපේ බිස්නස් එකත් කරගෙන යන්න පුළුවන්.”

“ඒක හරි යයිද සර්.”

“හරි යන්නේ නැත්තෙ මොකද? රෑට පාරවල්වල ඉන්න කෙල්ලොත් එතනට බැහැලා ඉන්නේ. මාර ඉල්ලුමක් ඒගොල්ලන්ට තියෙන්නේ. වයසක මිනිස්සු හිටන් ඒ කෙල්ලොත් එක්ක යනවා.”

“මම දැනං හිටියෙ නැහැනේ එහෙම එකක්.”

“ඒකනෙ කියන්නෙ අනිල් මොලේ පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කරන්න කියලා. අපේ ඉන්න කෙල්ලන්ගෙන් බාගයක් විතර හෙට ඉඳන් ගෝල්ෆේස් එකට යවන්න. දවස් දෙක තුනක් බලමු මොකද වෙන්නේ කියලා. මම හිතන්නේ නැහැ අපිට වරදියි කියලා. ඒ එක්කම කෙල්ලන්ට දෙන්න ඕනා උපදෙස් ටිකත් දන්නවනේ.”

“හරි සර් ඒ ගැන බයවෙන්න එපා සේරම වැඩ ටික මම බලාගන්නම්.”

සම්බාහන මධ්‍යස්ථාන හිමිකරුගේ කීමට අනුව පසුදිනම අනිල් ඒවායේ සේවය කරන තරුණියන් කිහිප දෙනෙකු ගාලු මුවදොර පැවැත්වෙන උද්ඝෝෂණ භූමියට පිටත් කර හැරියේය. එලෙස ගිය තරුණියන් හිමිකරුත් නොසිතූ අයුරින් ආදායම් උපයා දුන්නේය. එතැන ආතල් ගැනීමට පැමිණි සිටි පිරිස් සම්බාහනයට පමණක් නොව මුදලට යහන් ගතවීමට ද තරුණියන්ව මිලදී ගෙන තිබුණහ. එතැන් පටන් එම සම්බාහන මධ්‍යස්ථානවල හිමිකරු බහුතරයක් තරුණියන් යවා තිබුණේ උද්ඝෝෂණය හරහා තම ආදායම තර කරගැනීම සඳහාය.

තවත් කිහිපයක් ගතවෙද්දී මෙය රැල්ලක් බවට පත්විය. කොළඹ අවට බොහෝ සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරන තරුණියන්, රාත්‍රි සමාජශාලාවල සේවය කරන තරුණියන් දැන් සිටින්නේ අරගල භූමියේය. ඒ අරගලය කරන මුවාවෙන් සැප
ගැනීමට පැමිණි පිරිස් මුදලට සතුටු කිරීමටයි. තවද කොළඹ පමණක් නොව තදාසන්න ප්‍රදේශවල සිටින වීදි ගණිකාවන්ද බහුතරයක් දැන් සිටින්නේ අරගල භූමියේය.

ඔවුන් එලෙස කිසිදු බාධාවකින් තොරව තම වැඩකටයුතු කරගෙන යද්දී තවත් තැරැව්කරුවන් පිරිසක් ඒ අවට හෝටල්වල තරුණියන් රඳවාගෙන සුරූපී නිළියන් සිටින බව පවසමින් අරගල භූමියේ සිටින විවිධ වයස් කාණ්ඩවල පිරිමින්ට මුදලට විකුණති. අරගලය මුවාවෙන් සැප ගැනීමට පැමිණි සමහර පිරිස් අත දිග හැර මුදල් වියදම් කරමින් මෙම තරුණියන් සමග යහන් ගතවේ.

අරගල භූමියේ තරුණියන් එලෙස මුදලට විකිණෙද්දී තවත් පිරිසක් ඉතාමත් සූක්ෂම ලෙස එහි මත්ද්‍රව්‍ය විකුණති. අයිස්, හෙරොයින්, ගංජා සහ තවත් විවිධ වර්ගයේ මත් පෙති අරගල භූමියේදී කිසිම අපහසුතාවයකින් තොරව මිලදී ගත හැකිය. සවස් කාලය වන විට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බොහෝ පිරිසක් එහි යන්නේ එම මත්ද්‍රව්‍ය මිලදී ගැනීමටයි. එලෙස මිලදී ගන්නා මත්ද්‍රව්‍ය බහුතරයක් පිරිස එම අරගල භූමියේ සිටම භාවිතා කරති. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බහුතරයක් මුස්ලිම් අය වෙති.

තවත් බඩගෝස්තරවාදීන් පිරිසක් අරගලයේ මුවාවෙන් විදේශික ශ්‍රී ලාංකිකයන්ගෙන් සල්ලි ගරා ගැනීමේ ජාවාරමක ද නියැළී සිටිති. උද්ඝෝෂණයේ නියැළෙන ජනතාවට අවශ්‍ය ආහාර වැනි දෑ සැපයීම සඳහා යැයි කියමින් මෙම පිරිස් මුදල් එකතු කර තිබේ. ඒ සඳහා සාක්ෂි ද අප සතුව තිබේ. තවද මෙරට ප්‍රසිද්ධ යූ ටියුබ් ක්‍රියාකරුවන් පිරිසක්ද මෙලෙස අයථා ලෙස මුදල් උපයාගෙන ඇත. එයින් එක් අයෙක් විහිළු සපයන්නෙක් වන අතර අනෙක් පුද්ගලයා අපරාධකරුවකු ලෙස ද හැඳින්වේ.

අරගලය විකුණා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ද විශාල ලෙස මුදල් උපයාගෙන තිබේ. එම සංවිධානවල පිරිස් අරගල භූමියේ පැය කිහිපයක් පෙනී සිටිමින් රාත්‍රි කාලයේ කොළඹ අවට තරු පහේ හෝටල්වල සුර සැප විඳින බවට ද අනාවරණය වී තිබේ.

මෙම අරගලයේ භයානකම තත්ත්වය වන්නේ විවිධ ආගම්වල අන්තවාදීන් පිරිසක් සහ සංවිධාන කිහිපයක් එකතුවී අනෙක් ආගම් එළිපිටම විවේචනය කිරීමයි. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ බුද්ධාගමයි. එම අන්තවාදී පිරිස් සහ සංවිධාන නොයෙක් ආකාරයෙන් විවිධ උපක්‍රම යොදා අරගලය අස්සේ බුද්ධාගම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක ද නියැලෙමින් සිටිති. ඒ සඳහා සමාජයේ පිළිගත් පුද්ගලයන් මුදලට ද මිලදී ගෙන ඔවුන් හරහා ද මෙම කර්තව්‍ය සිදු කරගෙන යමින් සිටී. රටේ අහිංසක ජනතාව යුක්තිය වෙනුවෙන් සිදුකරන අරගලය ඔස්සේ ආගම්වාදය පතුරවා හැරීමට වෙර දරන පුද්ගලයන් හා සංවිධාන තරයේ හෙළා දැකිය යුතුය.

අහිංසක මිනිස්සුන්ගේ දහඩිය කඳුළින් ඇරඹුණු මෙම උද්ඝෝෂණය සැබෑවක් කර ගැනීමට නම් තම බඩගෝස්තරය ගැන සහ විවිධ න්‍යාය පත්‍ර ගැන සිතමින් ඒවා ක්‍රියාත්මක කර ගැනීමට වෙර දරණ අපතයින් අරගලය භූමියෙන් එළවා දැමිය යුතුය. එලෙස එළවා දැමූ පසු මෙරට අහිංසක ජනතාවගේ සැබෑම අරගලය මෙය වනු ඇත.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment