අරගලය දා කර ඇරිය බලවතුන්ගේ නම් එළියට!

1239

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස වැඩ බැලූ ශවේන්ද්‍ර සිල්වා ගැන CI‍D විමර්ශනයක් කරන්න
– කරන්නාගොඩ කමිටුව නිර්දේශ කරයි

පසුගිය වසරේ මැයි 9 වැනිදා 10 වැනිදා කොළඹ නවම් මාවතේ පිහිටි බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශවල සිදු වූ පහරදීම්, පුද්ගලයන් හා වාහන බේරේ වැවට ඇද දැමීම් මෙන්ම රට පුරා සිදුවූ නිවාස හා දේපළ ගිනි තැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඬ පැවැත්වීමට අවශ්‍ය පියවර නොගැනීම මගින් එවකට වැඩබලන ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස හා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉතා බරපතළ ලෙස ඔහු වෙත පැවරී තිබූ රාජකාරි වගකීම් පැහැර හැර ඇතැයි හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රීපුද්ගල කමිටුව නිකුත් කළ නිර්දේශ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදා විශේෂ බළකා සාමාජිකයන්ගෙන් සමන්විත හදිසි අවස්ථාවකදී කැඳවිය හැකි කැරලි මර්දන බළකායන් ජංගම ආරක්ෂක රථ සහිතව කඳවුරු තුළ රඳවා තිබියදීත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ක්ෂණික හා සෘජු නියෝග, වගකිවයුතු නිලධාරීන්ට ලබානොදීම එවැනි විනාශකාරී ප්‍රචණ්ඩ ක්‍රියා මැඩ පැවැත්වීමට බාධාවක් වී ඇතැයි ද එම කමිටුව නිකුත් කළ නිර්දේශ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

රට තුළ කිසිදු ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවීමට වගබලා ගන්නා ලෙසට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලබාදී තිබූ නියෝග වගකිව යුතු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට නිසියාකාරව ලබාදීමක් සිදුකර නොමැති බව තම කමිටුව පැවැත්වූ විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් සිදුකළ යුතු බවට ද එම කමිටුව නිර්දේශ කර තිබේ.

පසුගිය මාර්තු 31 වැනිදා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය නුගේගොඩ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවාසය වැටලීමේ සිට මැයි 9 වැනිදා දක්වා රට තුළ සිදුවූ විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් විශාල පිරිසකගේ ප්‍රකාශ සටහන් කර පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ භාරයේ තිබූ ලේඛන විශාල ප්‍රමාණයක් පරිශීලනය කර තම කමිටුව එකී නිර්දේශ නිකුත් කළ බවද අද්මිරාල් ඔෆ්ද ෆිලීට් වසන්ත කරන්නාගොඩ, ජෙනරාල් දයා රත්නායක හා මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ගෙන් සමන්විත එම කමිටුව නිකුත් කළ නිර්දේශ වාර්තාව මගින් පෙන්වාදී තිබේ. එම කමිටුවේ නිර්දේශ වාර්තාවේ පිටපතක් පසුගිය 24 වැනිදා අභියාචනාධිකරණයට භාරදී තිබිණි.

තම නිවාස හා දේපළ ගිනි තැබීම් වළක්වා ගැනීමට නිසි පියවර නොගත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව විමර්ශනයක් කර නීතිමය පියවර ගන්නැයි ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ ඇතුළු 34 දෙනෙකු ගොනු කර තිබූ පෙත්සම පසුගිය 24 වැනිදා අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න, විනිසුරු එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් හමුවේදී කැඳවිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment