අරගලය දියකරන වැඩපිළිවෙළකට සජබ දායක වන්නේ නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

186

තනතුරු තාන්න මාන්නවලට ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ
 
 අදත් පාර්ලිමේන්තුවේ තිබෙන්නේ විකෘති පොහොට්ටු බහුතරයක්
 

 අදත් පාර්ලිමේන්තුවේ ඇත්තේ විකෘති පොහොට්ටු බහුතරයක් බවත් තිරසාර වැඩපිළිවෙළක් නැති ආණ්ඩුවකට කිසිදු රටක් උපකාර නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 ආණ්ඩුව  ලබාගැනීමට හෝ සර්වපාක්ෂික ආණ්ඩුව බිහිකිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන්නේ කෙසේ දැයි යන්න පිළිබඳව තීන්දුව තිරසාර බවත් තනතුරු තාන්න මාන්න වෙනුවෙන් කිසිවිටකත් ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 මේ රටේ ජනතාව ඉල්ලා සිටින වෙනස කිසිවිටෙකත් පාවා නොදෙන බව පැවසූ විපක්ෂ නායකවරයා අරගලය දියකර හරින වැඩපිළිවෙලකට තමන් ඇතුළු සමගි ජන බලවේගය දායක නොවන බවද පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (25) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී වෘත්තීය සමිති නියෝජිතයින් හමුවූ අවස්ථාවේදීය.

 සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය මගින් ඉදිරිපත් කරනු ලැබූ විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධනය පරම පවිත්‍ර පිරිසිදු සංශෝධනයක් බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම උදෙසාවූ ඉහළ ගණයේ සංශෝධනයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමත්, විධායක අගමැතිවරයෙකු බිහි නොකර සංවරණ තුලන ක්‍රමවේදයකට රට නතු කිරීමත් එම සංශෝධනයේ තිබෙන බවද විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment