අරගලය මැද රාජ්‍ය දේපළ වැනසූ මැති ඇමැති නිවාස ගිනි තැබූ 12ක් අත්අඩංගුවට

217

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ට පහරදීම, රාජ්‍ය දේපළ විනාශ කිරීම, මැතිඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා රැසකට සම්බන්ධ සැකකරුවන් 12 දෙනකු පොලිසිය මගින් ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් මැයි මස 10 වැනිදා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු කොල්ලුපිටිය පෙරහැර මාවතේ ගමන් ගනිද්දී සංවිධානාත්මක පිරිසක් විසින් ඔවුන්ට පහරදී තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය මීට පෙරද සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් කළ වැටලීමකදී මෙම පහරදීමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනකු පෙරේදා (29 දා) අත්අඩංගුවට ගෙන තිබිණි.

පිටබැද්දර සහ කොළඹ පදිංචි සැකරුවන් තිදෙනා අවුරුදු 31, 51 සහ 52 වයසේ පසුවන බව පොලිසිය පවසයි.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන පවත්වාගෙන යයි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට කඩා වැදී ඊට ගිනි තබා දේපළ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අරණායක ගල්බොක්ක ප්‍රදේශයේ පදිංචි වඩු කාර්මිකයෙකි.

කෑගල්ල බණ්ඩාරනායක මාවතේ පිහිටි ඇමැති තාරක බාලසූරිය මහතාගේ නිවසට පහරදී ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

කෑගල්ල සහ පල්ලේගම පදිංචි සැකකරුවෝ අවුරුදු 31, 47 සහ 44 යන වයස්වල පසුවන පුද්ගලයෝ වෙති.

අරගලය පැවැති ඉකුත් මැයි 09 වැනිදා කඩුවෙල නගරය මද්‍යයේදී බස් රථයකට පහරදී ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුන් සිව්දෙනකු කඩුවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අවුරුදු 19, 20, 29 සහ 40 වයස් සීමාවල පසුවන සැකකරුවෝ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි කරුවෝ වෙති. සැකකරුවන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment