අරගල කර රට යළි වට්ටන්නේ ජාතිද්‍රෝහීන් – වජිර අබේවර්ධන

185

බංකොලොත් බවට ප්‍රකාශ කර තිබූ රට යම් මට්ටමකට ඉදිරියට ගෙනඒමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින අවස්ථාවක අරගල කර රට නැවත වැට්ටවීමට කටයුතු කරන්නේ ජාතිද්‍රෝහීන් යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (01 දා) ප්‍රකාශ කළේය.

ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, පැය 08 ක් 10 ක් විදුලි කප්පාදුව ඇතුළු ප්‍රශ්න ගොඩක සිටි රට කිසිවකු භාරගන්න ඉදිරිපත් නොවූ විටෙක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙසත් අනතුරුව ජනාධිපති ලෙසත් භාරගෙන කෙටිකාලයක් තුළ එම පෝලිම් තුරන් කළ බවත් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (01 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසීය.

වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද කීය.

රට බංකොලොත්වීමට අඩු වැඩි වශයෙන් හැමෝම වගකිව යුතු නිසා දැන් ඒ ගැන කථා කරලා වැඩක් නැහැ. දැන් රට තිබෙන තත්ත්වයෙන් ඉදිරියට ගෙනයෑමටයි අවශ්‍ය. රට ඉදිරියට ගෙනයෑමට නම් වසර 15කට 20කට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. එය සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කමිටුවක් පත්කර අදහස් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

හැමෝම කරන්න ඕනෑ ඒ කමිටුවට රට ඉදිරියට ගෙනයෑමට තම මතය ප්‍රකාශ කිරීමයි. එසේ නොමැතිව පාරට බැහැල අරගල කිරීමෙන් ජනතාවට මොනවද ලැබෙන්නේ කියලා ඒ අය කියන්න ඕනෑ. මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. අපේ රටේ විශ්වවවිද්‍යාල ශිෂ්‍යයන් හා සමාන හැසිරීම් තියෙන වෙනත් රටවල් තියෙනවාද? අපේ සිසුන් අරගල කරලා අන්තිමට නතරවන තැන ජනතාවට පේනව ඇතිනේ.

අවුරුදු 30 ක යුද්ධයෙන්, දකුණේ කැරලිවලින් මේ රටේ ඩොලර් ට්‍රිලියන ගණනක දේපළ විනාශ වුණා. මේවත් අපේ රට පරිහානියට යන්න බලපෑවා. දැන් රට යම් තැනකට ඇවිත් උද්ධමනය අඩුවෙමින් පවතිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් හෙට (03 දා) මෙරටට පැමිණ සාකච්ඡා කිරීමට නියමිතයි. රටක නිදහස තිබිය යුතුයි, නමුත් එය වල්බූරු නිදහසක් නොවිය යුතුයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment