අරගල කළ තරුණ ප්‍රජාව නැති  දේශපාලනයක් හිතන්නවත් බැහැ

141

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නව ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානය විවෘත කරමින් කියයි

නව නායකත්වයක් රටට අවශ්‍යයි

හොරකම් කරන්න බලාගෙන එන්නත් එපා හොරුන්ව ගන්නත් එපා

රට මේ තරමින් හෝ ගලවා ගත්තේ  සැබෑ අරගලකරුවන් – නව ලංකා නිදහස් පක්‍ෂයේ නායක කුමාර වෙල්ගම

අරගල කළ තරුණ ප්‍රජාව නැති  දේශපාලනයක් හිතන්නවත් බැහැ

අරගලය කළ තරුණ ප්‍රජාව අමතක කරමින් ඉදිරියට කිසිවකුට මෙරට දේශපාලනය කළ නොහැකි බවත් රටට අලුත් මාවතක්, දර්ශනයක් සහ නව නායකත්වයක් අවශ්‍ය බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (05 දා) සඳහන් කළාය.

2005 වසරින් පසු රට පාලනය කළ පාලකයන් රට තමන්ගේ බූදලයක් ලෙස සලකා විනාශ කළ බවත් එම තත්ත්වය වහා වෙනස් කළ යුතු බවත් කුමාරතුංග මහත්මිය කීවාය.

අරගල කළ තරුණ ප්‍රජාව නැති  දේශපාලනයක් හිතන්නවත් බැහැ



හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (05 දා) එම අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතුව නව ලංකා නිදහස් පක්‍ෂයේ මූලස්ථානය බත්තරමුල්ලේදී විවෘත කිරීමේ උත්සවයේදීය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලය එම පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා සහ ප්‍රධාන අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතින් විවෘත විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙසේද කීවාය.

අද මම මෙම උත්සවයට පැමිණියේ ආරාධිත අමුත්තෙක් ලෙස. ඇතැම් අය මට මෙම පක්‍ෂයේ ඇති තනතුරු ගැන විවිධ කතා කියනවා. මම ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වුණේ වයස අවුරුදු 60 දීයි. නමුත් අප රටේ ඉදිරි ගමන වෙනුවෙන් අවංකව ඉදිරිපත්වන ඕනෑම අයකුට, පක්‍ෂයකට පුද්ගලිකවම මම මගේ සහාය දක්වා තිබෙනවා. ඒ වගේම ඉදිරියටත් එය කරනවා.

අද අපේ රටට අලුත් මාවතක්, දර්ශනයක් වගේම නායකත්වයක් අවශ්‍ය වෙලා තිබෙනවා. අරගලය කළ තරුණ තරුණියෝ අමතක කරමින් මින් ඉදිරියට අප රටේ දේශපාලනය කළ නොහැකි බව අමතක කරන්න එපා. එහෙම කරන අයට සාර්ථක දේශපාලනයක් කරන්න වෙන්නේ නැහැ.

නිදහසින් පසු අප රට පාලනය කළ ආණ්ඩු දෙකක් ප්‍රධාන වශයෙන් රට විනාශ මුඛයට ඇද දමා තිබෙනවා. අරගලයෙන් ඇතිවූ පෙරළිය රටේ ඉතිහාසයේ අනෙක් අරගලවලට වඩා බොහෝ වෙනස්. ඒ පෙරළිය තුළ හිටපු ආණ්ඩුව ගෙදර ගියා. අරගලය තුළ බුද්ධිමත් විශාල පිරිසක් සිටියා. ඔවුන් නව වෙනසක් අපේක්‍ෂා කරනවා. 2005 න් පසු රට පාලනය කළ පාලකයෝ හිතුවේ මිනිස්සු අපට ඡන්දය දෙනවා, ඒ නිසා අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලයි. සියලු ජරා වැඩ ඔවුන් කළා. ඊට එරෙහිව කතා කරන අය ඔවුන් මර්දනය කළා. මෙම තත්ත්වය අප වෙනස් කළ යුතුයි. ඒ සඳහා නව ලංකා නිදහස් පක්‍ෂය පෙරමුණ ගනු ඇතැයි මම විශ්වාස කරනවා.

හොරකම් කරන්න බලාගෙන මෙම පක්‍ෂයට එකතු වෙන්න එපා යැයි මම සැමගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම එවැනි හොරු පක්‍ෂයට ගන්න එපා යැයි මම වෙල්ගම මහතාගෙන් ඉල්ලා සිටිනවා. රට, ජනතාව වෙනුවෙන් වැඩ කරන මිනිසුන් දේශපාලනයට අවශ්‍යයි.

මෙහිදී අදහස් දැක්වූ නව ලංකා නිදහස් පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මෙසේ ද කීවේය.

මම සාමාන්‍යයෙන් හරියන අනාවැකි කියන කෙනෙක්. අප පක්‍ෂය ඉදිරියේදී විශාල ජයග්‍රහණ රැසක් ලබන බව දැන්ම කියන්න ඕනෑ. මේ සඳහා අපට සැමගේ සහාය අවශ්‍යයි. ඒ සඳහා අපට හිටපු ජනාධිපතිතුමිය දිගින් දිගටම අනුශාසනා, අවවාද ලබාදෙනවා. එතුමිය නිසි කලට විශ්‍රාම ගිය නිසයි මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිකම හිමිවුණේ. එතුමා හොද දේශපාලනඥයෙක්. නමුත් එතුමා රටට වඩා පවුලට ලැදි වුණා. එතුමා පවුලට වඩා පක්‍ෂයේ ජ්‍යෙෂඨත්වයට සැලකුවා නම් අද සිදුව ඇති ඇබැද්දිය වෙන්නේ නැහැ.

රටේ අවාසනාවට එතුමා පවුලට ලැදි වුණා. ඒ නිසා පත්වූ ජනාධිපතිවරයාට වසර දෙකක් තුළ උමං මාර්ගයකින් රටින් පැනයන්න සිදු වුණා. දැන් එතුමා නැවත රටට පැමිණ සිටිනවා. ඒ පැමිණීම ගැන අප සුබ පතනවා. හැබැයි අපි එතුමාට කියන්නේ ඔබතුමා ඔහෝමම ඉන්න, නැවත දේශපාලනයට එන්න එපා කියලයි. ඔබ දේශපාලනයට සුදුසු නැහැ. සමහරු අගමැතිකම් දෙන්න කතා කරනවා. ඇත්තටම එතුමාට හොඳ පිංවන්ත නෝනා මහත්මියක් ඉන්නවා. එතුමිය සමඟ පිනක් දහමක් කරගෙන අනුන්ගේ

රැවටිලිවලට අසුනොවී ගෙදර සිටියොත් හොඳයි කියලා තමයි මට කියන්න වෙන්නේ. මෙය මම එතුමාට අවංකව දෙන උපදෙසක්.

රට විශාල අර්බුදයකට ලක්වෙලා. රට මේ තරමින් හෝ ගලවා ගත්තේ සැබෑ අරගලකරුවන්. රට මේ තත්ත්වයේ තිබෙන්නේ ඔවුන් නිසා. අද එම අරගලකරුවන්ට තාඩන පීඩන එල්ල වෙලා. අරගලය පිටුපස ලේ පිපාසිත අය නොසිටින බව අප කිය්නනේ නැහැ. ඒ ගැන මම වැඩිය කියන්න යන්නේ නැහැ. එම අයට ප්‍රජාතාන්ත්‍රවාදීව බලය ගන්න බැරි නිසා ඔවුන් වෙනයම් ක්‍රියාමාර්ගයකට යන බව රහසක් නෙමෙයි. මට කොට්ටාවේදී ගහනකොට මා පිටුපස ඉන්නේ කවුද කියලා මට වැටහුණා. ඒ නිසයි එම තරුණයන්ට අඩම්තෙට්ටම් නොකරන ලෙස මම පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ. තව වසර 10 ක් ඉන්න කෙනාට වඩා තව වසර 50 ක් ඉන්න තරුණයා මට වටිනවා.

රට තුළ මතුව ඇති අර්බුදය විසඳීම ලෙහෙසි නැහැ. ජනාධිපතිවරයාට පොහොට්ටුවේ අය ඉන්න දෙන්නේ නැහැ. ඔවුන් ජනාධිපති සමඟ වෛරයෙන් සිටිනවා. පොහොට්ටුවේ අයට පොළොවේ යථාර්ථය තේරෙන්නේ නැහැ, තේරුම් ගන්නෙත් නැහැ.

ජනාධිපතිවරයාට මං කරුණාවෙන් කියන්නේ මේ දවස් ටිකේ හිමිහිට යන්න කියලයි. තව වැඩිකල් ඔහොම යන්න වෙන්නේ නැහැ. ඔබට හොඳ බලයක් තිබෙනවා. ලබන වසරේ පෙබරවාරි විසිපස්වැනිදායින් පසු රාජපක්‍ෂලා ගෙදර යැවීමේ අවස්ථාව තමුන්නාන්සේට ලැබෙනවා. එදාට ඡන්දයකට යමු. එදාට අපේ වමේ පක්‍ෂ ඔබතුමාට සහය ලබාදෙනවා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතාද, නව ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති ජීවන් කුමාරතුංග යන මහත්වරුද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, පාඨලි චම්පික රණවක, නන්දිමිත්‍ර ඒකනායක, හිටපු මහ ඇමැති පේෂල ජයරත්න, හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා ඇතුළු දේශපාලනඥයන් රැසක් එක්වූහ.

සිරිමන්ත රත්නසේකර

ඡායාරූප – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment