අරගල බිමේ නිහඬ වු ගී හඬ ශිරාස්

623

රට මුහුණදී ඇති අර්බුද සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලා කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල නිර්පාක්‍ෂික විරෝධතාවක නියැළී සිටින පිරිස සමග සිටි ජනහිතකාමී සහෘද පොප් ගායකයකු ඊයේ (12 දා) අලූයම ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ශිරාස් යුසුප් නමැති මෙරට ජනප‍්‍රිය පොප් ගායකයෙකි. වේදිකාව තුළ ඔහුව ශිරාස් ගෲප් බෝයි ලෙස හැඳින්වේ.

රට මුහුණදී ඇති අර්බුද හමුවේ ජනාධිපතිවරයා සහ රජය ඉවත්විය යුතු බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාකරුවෝ ඊයේ (12 දා) සිව්වැනි දිනටත් අව්වැසි නොබලා විරෝධතාවේ නිරතව සිටියහ.

එහිදී පොප් ගායක ශිරාස් යුසුප් විසින් ජනප‍්‍රිය පොප් ගායක බොබ්මාලි විසින් ගායනා කරන ලද Get up-Stand up ගීතය ගායනා කර අවසන්වනවාත් සමගම පපුව ප‍්‍රදේශයේ හටගත් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අලූයම 12.50 ට පමණ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

අරගල බිමේ නිහඬ වු ගී හඬ ශිරාස්

රෝහලට ඇතුළත් කරන විටත් ශිරාස් මියගොස් සිටි බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහුගේ මරණය සිදුවන්නට ඇතැයි සැක කරන බවත් මරණ පරීක්‍ෂණයෙන් පසු හේතුව ප‍්‍රකාශ කළ හැකි බවත් එම ප‍්‍රකාශකයා කියා සිටියේය.

මියගිය ශිරාස් කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථියකු බවත් ඔහුගේ පවුලේ පිරිස ඔස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටින අතර ශිරාස් මෙරටට පැමිණ සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණදීමට සිදුවූ බවත් ඔහුගේ මිත‍්‍රයෙක් ‘දිවයින’ ට පැවසීය.

ශිරාස් යුසුප් පිළිබඳව ඔහුගේ මුහුණු පොතේ හිතවතුන් කිහිපදෙනකු මෙසේ ප‍්‍රකාශ කර තිබිණි.

ජූන් ගුණසේකර – ශිරාස් අයියේ ඔයා විටෙක සහෝදරයෙක්, හොඳම හොඳ යාළුවෙක්, ගුරුවරයෙක්, පියෙක්. මා දුටු නිහතමානීම කලාකරුවෙක්. ලංකාවේ ඔබ දක්ෂයන් අතර දක්ෂයෙක්. Legend කෙනෙක්ගේ නික්මයාම හිතාගන්නවත් බෑ. ලංකාවට අහිමි වූ Internation al Voice එකක්. මං අසරණ වුණ හැම වෙලාවෙම උදව් කළා. මම තේරුම් ගත්තෙ එක දෙයයි. අපි හැමෝම මරණයට පෝලිමේ ඉන්නවා. වෙලාව ආවම යන්න වෙනවා. ඒක මොන වෙලේ එයිද දන්නේ නැහැ.

අනුර වීරසිංහ – get up stand up stand up for your rihgts පෙරදා රැයේ ඔබ කියූ ලෙසින් හැමෝම අයිතිවාසිකම් වෙනුවෙන් පෙළගැසී අමනයින් පන්නා දමන දවස වැඩි ඈතක නොවේවා. මේ අප ඔහු වෙනුවෙන් ජයගත යුතු අරගලයයි.

මෙවැනි වදන් රැසක් ඔහුගේ මුහුණු පොතේ සටහන් වී තිබීමෙන්ම පෙනී යන්නේ ඔහු මිනිසුන් අතර සිටි සැබෑ මිනිසකු බව යැයි ජනතාවට හැඟි යනු නිසැකය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment