අරගල බිමේ රැව්දෙන ගී හඬ… දිනූපා

532

කලාව අපේ ජීවිතේ වගේමයි

යදමින් බැඳ විලංගුලා – මගේ පුතා රැගෙන යන්න
ඉඳිකටු ඇන ඇඟිලි තලා – දෙතිස් වධය පමුණුවන්න
අලුත් ලොවක් ගැන සිතීම – දඬුවම් දෙන වරදනම්
කුමට එරට අධිකරණය – නීතිය හා විනිසුරන්

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ  පද රචනයෙන්, ඔස්ටින් මුණසිංහයන්ගේ  සංගීතයෙන් විශාරද නන්දා මාලනියන්ගේ හඬින් සජීවී ව අසූව දශකයේ ශාලාවලදී ඇසුණු මේ ගීතය අද මහ පාරේ අරගල භූමිවල නිතර නිතර අසන්නට ලැබෙනවා.

අරගල බිමේ රැව්දෙන ගී හඬ...  දිනූපා


ඒ හපන් පැදුරෙන් ගමන පටන් ගත්තු පුංචි තිරය, රිදීතිරය වගේම වේදිකාව ද තරණය කළ දිනූපා කෝදාගොඩගේ හඬින්. ඇත්තටම මේ දිනවල ඇගේ රුව නිතර දකින්න ලැබෙන්නේ අරගල තීරයේ. ඉතිං අපි ඇයත් සමඟ කතා කරන්න හිතුවා.

දිනූපා කෝදාගොඩගේ  හඬ මෑත කාලයේ වැඩිපුර ඇහෙන්නේ අරගල භූමියෙන්

ඔව්. ඇත්තටම මම මුලින්ම ඒ විදියට තීරණයක් අරගෙන එළියට බහින්නේ පළමුවෙන්ම හදිසි නීතිය කැඳවලා ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවේ. මගේ සැමියත් සංගීත අධ්‍යක්‍ෂවරයෙක්. අපි දෙන්නම තීරණය කරනවා මේක හරිම අසාධාරණයි කියලා. අපිට ඒ වෙලාවේ ඒක දරාගන්න බැරිවෙනවා. එතකොට නාවල කොස්වත්ත හන්දියේ සෝලිස් හෝටලය ළඟට ගිහිල්ලා ගීත ගායනා කරනවා විරෝධය පළකිරීම වෙනුවෙන්. හැබැයි අපි කලාකරුවෝ විදිහට ටික කාලයක ඉඳලා මේ සමාජ තත්ත්වය ගැන මිනිසුන්ගේ අවධානය යොමු කරවන්න නිර්මාණකරණයේ යෙදෙමින් හිටියේ. ඉතිං පාරට බැස්සේ මුලින් කියපු විදිහට සංගීතය කියන මාධ්‍යයෙන් අපේ විරෝධතාවය දිගටම කරගෙන යන්න.

අරගල බිමේ රැව්දෙන ගී හඬ...  දිනූපා

නාවලින් පටන් ගත්තු ගමනේදී කොළඹ වීදිවල පවා ඔබේ හඬ රැව්දෙන්න පටන් ගත්තා.

නාවල කොස්වත්තට ගිය වෙලාවේදී මුලින්ම මිනිස්සු අපිත් එක්ක එකවර එකතු වුණා. අපි කළේ සංගීතමය විරෝධතාවයක්. මිනිස්සු අපිව අගය කළා. ජන අරගලයේ කලාකරුවෝ කියන සංවිධානයත් එක්ක තමයි අපි මරදාන පොලිසිය ඉදිරිපිටට ගියේ. ඊට අමතරව මම සහ මගේ සැමියා විරෝධතාවලට යනවා. ගොඩක් වෙලාවට අපිට විරෝධතාවලට එන්න කියලත් ආරාධනා කරනවා. මම හිතනවා අපිට පුළුවන්කමක් තියෙනවා ගායකයෝ” සංගීතඥයෝ විදිහට යම්කිසි අවධානයක් මේ සමාජ තත්ත්වය ගැන මිනිස්සු කෙරේ ඇති කරවන්න. මේ තත්ත්වය තවදුරටත් ඉවසා නොසිටිය යුතුයි. යහපත් අතකට පත්කර ගන්න සටන් කළ යුතුයි. අනාගත පරපුරට යහපත් වටපිටාවක් හදලා දෙන එක තමයි අපේ අරමුණ. අපේ මාධ්‍ය කලාව සංගීතය හින්දා ඒ දේවල් වලින් ඒක කරන්න පුළුවන්.

අරගල බිමේ රැව්දෙන ගී හඬ...  දිනූපා

ආරක්‍ෂක අංශවල ඇස ගැටුණු හැටි

ඇත්තටම එක අත්දැකීමක් තියෙනවා. අපි විරෝධතාවයකට සම්බන්ධ වෙලා ඉන්නකොට නෙමෙයි ඒක සිද්ධ වුණේ. නිකන් පාරේ යනකොට තමයි ඒක සිද්ධ වුණේ. හමුදා සොල්දාදුවෙක් අපිට කතා කරලා කිව්වා ඔයාල නේද ගීත ගායනා කරන්නේ කියලා. විරෝධතාවලදී අපිට කිසිම අනතුරුදායක තත්ත්වයක් ආරක්‍ෂක අංශවලින් ඇතිවෙලා නැහැ.

සැමියාගේ රුචිකත්වය

ඔව්” මම හිතන්නේ අපේ ජීවිතය ඇතුළේ අපි පුහුණුවීම් කරමින් හිටියෙත් මේ සමාජ ක්‍රමය වෙනස් කළ යුතුයි කියන නිර්මාණකරණයේ. කලාව කියන්නේ අපේ ජීවිතය වගේමයි. මමත් සැමියත් ඒ වෙනුවෙන් කාර්යභාරයක් කරමින් තමයි හිටියේ.

සිස්ටම් චේන්ජ් කලා නිර්මාණවලට අත තැබී?

ඒක මෙහෙම කිව්ව නම් හොඳයි. මම කලා නිර්මාණයකට දායක වෙනකොට මම පළමුවැනියට බලන්නේ ඒකේ මගේ කාර්යභාරය මොකක්ද” නිර්මාණයේ ප්‍රමිතිය මොකක්ද කියලා. තව දෙයක් මට ඒක කළ හැකිද කියන කාරණාවත්. ඊට අමතරව සමාජ ක්‍රමයේ යහපත් වෙනසක් වෙනුවෙන් මට ආරාධනා ලැබෙන ඕනෑම දෙයක් භාරගන්නවා.

දිනුපාගේ නිහඬත්වය,

මම හිතන්නේ නැහැ මම නිහඬයි කියලා. අපි නිහඬ නැහැ. අපි මුල සිටම මේ විදිහට වැඩ කරගෙන ගියා. හැබැයි මේ පවතින ක්‍රමය ඇතුළේ මේන් ස්ක්‍රීන් මීඩියා එහෙම අපි වගේ අයට වැඩි අවධානයක් ලබාදෙන්නේ නැහැ” දුන්නෙත් නැහැ. කලා නිර්මාණවලට සහ කලාකරුවන්ට මාධ්‍යයේ අවස්ථාව ලැබුණේ එක එක්කෙනාගේ

පෞද්ගලික දේශපාලන තත්ත්වය සමඟ තමයි. දැන් මේ මොහොතේ වුණේ මිනිසුන්ගේ පිබිදීමත්” නැඟිටීමත් එක්ක අපි වගේ අය චුට්ටක් පේන්න ගත්තා.

මාධ්‍ය සමඟ අමනාපයක්

අනේ නැහැ. අපිට එහෙම කිසිම කේන්තියක්” වෛරයක්” තරහක් මාධ්‍ය සමග නැහැ. සමහර වෙලාවට අපිට මාධ්‍යයෙන් ආරාධනා ලැබෙනවා. හැබැයි මට හිතෙන්නේ අපි ඒ අවධානය ලබාගන්න බලාපොරොත්තුවෙන් මොකක්වත් කරන්නේ නැති හින්ද කොහොමටත් තරහක් ඇතිවෙන්නේ නැහැ. හැබැයි අපි හිතනවා සමාජ වෙනසක් සිද්ධ වෙද්දී සමාජයේ යම්කිසි පෙරළියක් යහපත් අතකට සිද්ධ වෙද්දී මාධ්‍යයට ලොකු වගකීමක් තියෙනවා. ඒ වෙනුවෙන් කලා නිර්මාණ හෝ කලාකරුවන් හෝ කලා වැඩසටහන් ප්‍රචාරය කිරීමේ වගකීම.

අරගලය සමඟ ආ වෙනස්ම කලා මුහුණු

මට හිතෙනවා අපිට තිබෙන අත්දැකීම් එක්ක ඒ බොහෝ කලාකරුවන් අපි අඳුරනවා. ඒගොල්ලොත් අපි වගේම විවිධ ආරවලට වැඩ කරපු අය. මේ වෙලාවේ පාරට බැහැලා මිනිස්සු එක්ක උරෙන් උර ගැටිලා මේ දේ සිද්ධ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ යම්කිසි දේශපාලනයක් තියෙන කලාකරුවන්ට. තමන්ගේ නිර්මාණ හරහා යම්කිසි දේශපාලන අදහසක්” කියවීමක්” මතයක් පළ කරන්න පුළුවන් හැකියාවක් තියෙන කලාකරුවන්ට. ඒකෙන් අදහස් කරන්නේ නැහැ පක්‍ෂයක් නියෝජනය කරනවා කියලා. මම ගත්තොත් මම නිර්පාක්‍ෂිකයි. හැබැයි මට දේශපාලනයක් තියෙනවා. මම හිතනවා කලාකරුවෙක් විදිහට මිනිස්සුන්ගේ විඥානයට කතා කිරීමේ හැකියාවක් මට තියෙනවා කියලා. ඒක තමයි මම භාරගත්ත නිර්මාණයක් ගැන වුණත් මම ඒ වගකීම ගන්න ඕනෑ නිසයි තෝරා බේරාගෙන දේවල් කරන්නේ. ජනප්‍රිය ධාරාවේ අයත් මෙතැනට එන්න හැදුවා. ඒක එච්චරම හරිගියේ නැහැ. මොකද ඔවුන්ට දේශපාලනය ගැන එච්චර තේරෙන්නේ නැතිද දන්නේ නැහැ. හැබැයි මට හිතෙනවා ඔවුන්ගේ නිර්මාණ ඇතුළේ හුදු විනෝදාස්වාදය මත පදනම් වෙච්ච නිර්මාණකරණයේ යෙදුණු පිරිසක් තමයි ඔවුන්. ඔවුන්ට මෙතැන පොළොවට බැහැලා ඒ දේවල් කරන්න හැකියාවක් නැහැ කියලයි මට හිතෙන්නේ. මේ වෙලාවේ පෙනෙන්න ඉන්නේ යම්කිසි බලපෑමක් කළ හැකි නිර්මාණ කරන කලාකරුවන්.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment