අරගල බිම හදාරා වදාරමු

566

පැය 8ක වැඩමුරයක් ඉල්ලා ඇරඹුණු කම්කරු සටනක් මහා ලේ වැගිරීමකින් කෙළවර වූයේ, එක්තරා දිනයක් ලෝකයට කිසිදා අමතක නොවන ලෙස සලකුණු කරමිනි. ඒ ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය යි. ඒ 1886 අද වැනි දිනක අමෙරිකාවේ චිකාගෝ නගරය උණුසුම් වූයේ අසාධාරණයට එරෙහිව නැඟී සිටි කම්කරු පිරිසකගේ විරෝධතාවක් හේතුවෙනි. පසුව එම දිනය ලොව පුරා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් අවධාරණය කරන සුවිශේෂී දිනය බවට පරිවර්තනය විය. එදා සටන් පාඨ කියමින් එම උද්ඝෝෂණයට එක්වූ පිරිස දහසකට අධික සුවහසක් කම්කරු ජනතාවගේ රුධිරය මතින් මැයි 01 දින ජාත්‍යන්තර කම්කරු දිනය බවට පත් වූයේ එලෙසිනි.

ශ්‍රී ලංකාවේ කම්කරු ප්‍රජාව ලෝකවාසී කම්කරුවන් සමග එක්සත්ව පෙළ ගැසුණේ, එලෙස තම අයිතීන් දිනාගැනීමේ අඛණ්ඩ අරගලයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. ඒ අනුව, ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේ දී ය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය. කෙසේ වුවද, රටක වැඩි බර අදිනුයේ වැඩකරන ජනතාව බව කිසිසේත්ම අමතක කර දැමිය නොහැක. ඉතිහාසයේ මෙන්ම වර්තමානයේදීත්, ඉන් අනතුරුව අනාගතයේ දීත් අනේක කැප කිරීම් සිදු කරන වැඩ කරන ජනතාවගේ කර මතින් රට ඉදිරියට ගමන් කරනු ඇත.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යනාදී වශයෙන් පංච පුද්ගල බලවේගයන් ශ්‍රී ලංකාවේ විශාල බලකණු ලෙස තම දායකත්වය මෙරට ඉතිහාසය පුරාවට ලබා දී ඇත. අප අද භුක්ති විඳින අයිතිවාසිකම් හා ගරුත්වයන් වෙනුවෙන් මිනිසුන් සටන් කළ බව ඉතිහාසය අපට උගන්වයි.

මීට පෙර පැවති අරගලයන්වලට වඩා වෙනස් මුහුණුවරක් ගත් ගෝල්ෆේස් අරගලය අද කාගෙත් කතාබහට ලක්වූ භූමියක් වී ඇත. ඇතැම් අයට මෙම භූමිය වරද නිවැරදි කරගන්නා තැනක් බවට පත්ව ඇත. ඇතැම් කලාකරුවන් සමාව ඇයැද අරගලයට සහාය දැක්වූයේ මෙම ස්ථානයේ සිටය. ඒ නිසා මේ අරගල භූමිය ගැන බොහෝ දෙනාට විවිධ මුහුණුවරින් බැලීමේ හැකියාව පවතී. ඒ මෙය නිදහස් භූමියක් නිසාය. ස්වයං විනය මත වැඩකරන ඕනෑම අයකුට ඒ භූමිය තුළ සිටිය හැකි බව පෙනේ. ඒ නිසාම මේ භූමියට ඉතිහාසයේ වෙනම පරිච්ඡේදයක් වෙන්වනු ඇත.

මේ විප්ලවයට සියලු ජන කණ්ඩායම් සම්බන්ධවී ඇත. අතීතයේ පැවති අරගලවල එක් ජන කණ්ඩායමකට එරෙහිව තවත් ජන කණ්ඩායමක් හෝ පක්ෂයක් සිටියේය. මෙය එවැනි අරගලයක් නොවේ. මෙය ක්‍රමයට එරෙහි ජන නැඟිටීමකි. මෙතැන විවිධ දේශපාලන මතධාරීහු සිටිති. විවිධ ආගමික, වාර්ගික, පංතිමය ජන කොටස් සිටිති. එකිනෙකා අභිබවා තම න්‍යාය පත්‍රය සඳහා මේ අරගලය භාවිතා කරන්නට කිසිවකුට අවසරයක් නැති බව පෙනේ. මේ සියලු කොටස් එක්කර ඇත්තේ ජනතාවට සංවේදී පාලනයක උදාව වෙනුවනි. සජීවී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක උදාව වෙනුවෙනි. මෙම ක්‍රමය වෙනස් කිරීමට ඉල්ලන ජනකාන්ත ව්‍යාපාරයකි.

අද සිදුව ඇත්තේ රාජ්‍යය පාලනයේ බිඳ වැටීමකි. අවශ්‍යව ඇත්තේ ප්‍රායෝගික දර්ශනවාද මිස පැරණි දර්ශනවාද නොවේ. වසර කිහිපයකට වරක් පවත්වන ඡන්ද විමසීමකට පමණක් සීමාවූ ප්‍රජාතන්ත්‍රවාදයක් නොව ඉන් ඔබ්බට ගිය, වඩාත් පුළුල් ජනතා සහභාගිත්වයෙන් නිරතුරු පවත්වා ගන්නාවූ ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වන අරගලයක් බවට මෙය පත්ව ඇත. දූෂිත දේශපාලනඥයන් දේශපාලනයෙන් අතුගා දැමීමත්, කොල්ලකන ලද ධනය ලබා ගැනීමත් නව පරපුරේ අරගලයේ එක් අධිෂ්ඨානයක් වී ඇත. එමෙන්ම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැතිව, ප්‍රභූ පන්තියේ ආධිපත්‍යයට යටත්ව පවත්වාගෙන යන දේශපාලන පක්ෂවලට හෝ, පැරණි සමාජවාදී, ධනවාදී දර්ශන පෙන්වමින් පැවැත්ම සොයන බලවේගවලට හෝ තවදුරටත් ඒ රැවටීම කිරීමට නැඟී සිටින මේ අලුත් පරපුර වෙතින් අවසරයක් නොලැබෙනු ඇත.

ඇතැමුන්ට අනුව මේ උද්ඝෝෂණය කානිවල් එකකි. එහි සිදුවන්නේ කුණුහරුපය. සුපිරි වාහනවලින් බැස ගිටාර් ගසමින් ගන්නේ තවල් ආතල් එකකි. ආණ්ඩුවේ මාධ්‍ය හා ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ක්‍රියා කළ මාධ්‍යවල පැරණි කූට නාටක මෙවැනි දෑ ප්‍රකාශ කළ ද ඒවා දැන් වැඩකරන්නේ නැත. මෑතක් වනතුරුම ඒ මාධ්‍ය තම හාම්පුතුන්ගේ දේශපාලන පැවැත්ම සඳහා මේ රටේ ජනකොටස් අතර විවිධ වාර්ගික ගැටුම් ඇතිකරමින් රඟදැක්වූ විගඩම්ද දැන් අලුත් පරපුර අවබෝධ කරගෙන ඇත. සාම්ප්‍රදායික ඒ මාධ්‍ය මෙහෙයුම් අභිබවා, රටේ ජනතා මතය මේ අරගල තුළින්, සමාජ ජාලා තුළින් මතුව ඒම සිදුව ඇත. පැරණි ප්‍රමිතිවලින් අද අරගලයේ ප්‍රමිතිය නිර්ණය කළ නොහැක. අද ඇත්තේ වෙනස්ම සංස්කෘතියක් මෙන්ම වෙනස්ම අරගලයකි.

එක පැත්තකින් මැයි දින සැමරුම්ය. අනෙක් පැත්තෙන් ගෝල්ෆේස් අරගලයයි. තව පැත්තකින් වීදි බැස ඇති වැඩකරන ජනතාවය. තවත් අතකින් නොකඩවා දින හයක් තිස්සේ මහනුවර සිට කොළඹට එන පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂ බලවේගය සංවිධානය කර ඇති සමගි පා ගමනය. මේ හැරෙන්නට රට පුරාම පක්ෂ, පන්ති, වර්ග බේදවලින් තොරව රටම එක් කළ ගෝටා ගෝ
ගම්මානයන්ය. ජනතා ජනබලවේගය සංවිධානය කළ පා ගමනක් මෙයට කලින් සිදුවිණ. මේ සියල්ල තුළින් එළිදකින්නේ ජනතාවගේ දරාගත නොහැකි ජීවන අරගලයේ දුක, වේදනාවයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් අපයෝජනය කරමින් ගෙනගිය දූෂිත, ගජමිතුරු ධනවාදී, ගෝත්‍රික පාලනයක් හේතුවෙන් බැට කමින් සිටින ජනතාවගේ ආවේගයන්ය. මේ සියල්ල මැද, 69 ජනවරම ලබාගත් පාලකයන්ට මැයි පෙළපාලියක් පවත්වාගත නොහැකි වාතාවරණයක් අද උදාවී ඇත. රැකවල් සමග හෝ ජනතාව අතරට පැමිණිය නොහැකි පසුබිමක් උදාවී ඇත.

මේ අතර අප දන්නාවූ ඉතිහාසයේ නොවූ අයුරින්, අප රටේ සියලුම පළමු පෙළේ ආගමික නායකයන් ජනමතයට හිස නමන ලෙස පාලකයන් අමතමින් ප්‍රකාශ නිකුත් කර ඇත. හැටනව ලක්ෂයක ජනවරම ගැන තවදුරටත් කතා කරමින්, මේ මහා ජනතා නැඟිටීම් සහ විරෝධයන් මධ්‍යයේ තවදුරටත් බලයේ රැඳී සිටීම සදාචාර විරෝධී බව එම ප්‍රකාශවල සඳහන් කර ඇත. නීතිඥ සංගම්, වෛද්‍යවරුන්ගේ සංගම්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, ශිෂ්‍ය ප්‍රජාව, ගොවීන්, රජයේ සේවකයන්, පරිපාලන සේවය, දහසක් පමණ වෘත්තීය, වෘත්තීමය සංවිධාන ඇතුළු මුළු රටම පාලකයන්ට ඉල්ලා අස්වන ලෙස හඬ අවදි කර ඇත. වීදි බැස ඇත. දැන් මුළු රටම අරාජිකය.

මේ අතර රජයේ පාර්ශ්වය දෙපැත්තකට බෙදී අන්තර් කාලීන ආණ්ඩු පිහිටුවීම් ගැන ගැටුම් ඇතිකර ගනිමින්, තවදුරටත් බලයේ සිටීමට උප්පරවැට්ටි යොදමින් සිටීම දකින්නට ඇත. සිදුකර ඇති විනාශයනට, ආර්ථික අතින් සිදුකර ඇති සාපරාධී ක්‍රියාවනට වගවීමක් තිබිය යුතුය. ප්‍රසිද්ධියේ වැරදි කිරීම ගැන ප්‍රසිද්ධ පිළිගැන්මක් ඇත්නම්, ඒ අනුව බලය අත්හැරිය යුතුව ඇත. තවදුරටත් මේ ලෙස බලයේ එල්ලී සිටීම තුළින් සිදුවන්නේ තවදුරටත් රට අස්ථාවර කිරීමකි. රටේ ස්ථාවර පාලනයක් නොතිබීම හේතුවෙන් ජාත්‍යන්තර පිළිගැන්ම මෙන්ම සහයෝගයද තවදුරටත් රටක් හැටියට අපට අහිමිවෙමින් පවතී.

රටේ ව්‍යවස්ථාවට ගරුකර, ජනතාවගේ පරමාධිපත්‍යයට ගරුකර, ජනතාවගේ සුබසෙත උදෙසා, ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් රටේ ස්ථාවර පාලනයක් ඇතිකර ගැන්මට අවශ්‍ය මග පාදා දීම වහාම සිදුවිය යුතුව ඇත. කුමන්ත්‍රණ, උපායමාර්ග සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන මංවලින් බැහැරව, නීත්‍යානුකූලව, ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් ස්ථාවර පාලනයක් ඇතිකර ගැන්මට කටයුතු කිරීම තුළින් ජාත්‍යන්තර පිළිගැන්ම සහ විශ්වාසය රටක් ලෙසින් අපට දිනාගත හැකිවනු ඇත. මේ සිදුකර ඇති විපතින් සැපත උදාකර ගැන්මට අප්‍රමාදව ගමන ආරම්භ කරගත යුතුව ඇත.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment