අරගල භූමිවලට පහරදීමට  මුල් වූ මහමොළකරුවන් අල්ලන්න – වසන්ත සමරසිංහ

121

විරෝධතාකරුවන් විසින් ගාලුමුවදොර ප්‍රදේශයේ  පිහිටුවාගත්  මයිනාගෝගමට හා  ගෝඨාගෝගමට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඇති වූ සිද්ධීන්වලට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර ප්‍රහාරය සිදුවීමට මුල් වූ මහ මොළකරුවන් අත්අඩංගුවට ගත යුතු බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (23 දා) පැවසීය.

එම ගම් දෙකට පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් පොලිස් මූලස්ථානයට කරන ලද පැමිණිල්ලකට අදාළව කටඋත්තර ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි සමරසිංහ මහතා ඉන් අනතුරුව මාධ්‍ය අමතමින් මෙසේ ද කීය.

ගම් දෙකට ප්‍රහාර එල්ල කළ ප්‍රධාන මැරයන් තවම අත්අඩංගුවට ගෙන නැහැ. අද සිදුවෙමින් තිබෙන්නේ ප්‍රහාරය සැලසුම් කළ බව කියන පිරිස හෙලිකොප්ටර්වලින් පාර්ලිමේන්තුවට පැමිණීමයි. හරිනම් මේ පිරිස සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද අත්අඩංගුවට ගත යුතුයි. එසේ නොකර දිගින් දිගටම අසාධාරණ ලෙස ප්‍රහාරයට සම්බන්ධ බවට පිරිස් අත්අඩංගුවට ගන්නවා නම් ඊට එරෙහිව වෘත්තීය සමිති ලෙස ඒකාබද්ධව කටයුතු කරන්න වෙනවා. ඒ නිසා අපි කියන්නේ වහාම ගැටුම ඇති වීමට මුල් වී කටයුතු කළ පිරිස් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්න කියලයි.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment