අරලියගහ මැදුර ළඟ ‘අරගලකරුවෝ’ හා පොලිසිය පැටලෙති

270

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති අරගලයට සහභාගි වූ පිරිසක් සහ පොලිස් නිලධාරීන් අතර ඊයේ (29දා) පෙරවරුවේ ඇතිවූ උණුසුම් තත්ත්වයකින් පසු ප්‍රහාරයකට ලක්වූ තරුණයකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.

අරලියගහ මන්දිරය ඉදිරිපිට පදිකවේදිකාවේ ගාල්කර ඇති පොලිස් බස්රථවල සවිකර තිබු සටන්පාඨ සහිත බැනර් පොලිස් නිලධාරීන් විසින් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී එහි සිටි තරුණයන් ඊට විරෝධය පළකර තිබේ.

අරගලයට එක්ව සිටි තරුණයන්ගේ දැඩි විරෝධය හමුවේ පොලිස් නිලධාරීහු බස් රථවල සවිකර තිබූ බැනර් සහ පෝස්ටර් ඉවත් කිරීමට කටයුතු කළහ.

මෙම තරුණයා පහර කෑමට ලක්ව ඇත්තේ එම අවස්ථාවේ ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුරදීය.

පහර කෑමට ලක්ව තුවාල ලැබූ තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට අරගලයට එක්ව සිටි තරුණයෝ කටයුතු කළහ.

රථවාහන නීති උල්ලංඝනය කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාවේ පොලිස් බස්රථ නතරකර තැබීම නීති විරෝධී බව කියමින් අරගලයට එක්ව සිටි තරුණයෝ සටන් පාඨ කියමින් කෑගැසූහ.

පොලිසියට එක නීතියක් අපිට තව නීතියක් රඹුක්කනින් මට්ටුවෙලා නැහැ. අපට ඇයි මෙහෙම කරන්නේ යැයි කියමින් මෙම තරුණ පිරිස පොලිසිය වෙත සිය විරෝධය පළ කළහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment