අරලියගහ මැඳුර ළඟ  උණුසුම් තත්ත්වයක්

460

* පොලිසිය පන්න පන්නා ගැහුවා

* විරෝධතාකරුවෝ කියති

* කාන්තාවක් රෝහලේ

*ගැලවූ අට්ටාල යළි තනති


ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන ලෙසට බලකරමින් සති තුනක් තිස්සේ ගාලු මුවදොර අඛණ්ඩව පවත්වාගෙන යන විරෝධතාවයට සහාය දක්වමින් අරලියගහ මන්දිරය අසල පවත්වාගෙන යන ‘මයිනාගෝගම’ ලෙසින් නම්කර ඇති විරෝධතා භූමියට ඊයේ (01 වැනිදා) අලුයම 5.00 ට පමණ පොලිසිය පැමිණ එහි අට්ටාලය ගලවා ඉවත් කිරීමත් සමඟ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

මෙහිදී පොලිසියේ සමහර නිලධාරීන් ඉවක් බවක් නැතිව පහරදුන් බවත්, එහිදී තුවාල ලැබූ කාන්තාවක් රෝහල්ගත කළ බවත් විරෝධතාකරුවෝ පැවැසූහ.

අරලියගහ මන්දිරය දෙසින් ඇසෙන්නට සලස්වා තිබූ පිරිත් සජ්ඣායනය මැද මේ උණුසුම් තත්ත්වය ඇතිවිය.

මෙහිදී විරෝධතාකරුවෝ මෙසේ පැවැසූහ.

එහිදී තරු පටි පැළඳි උසස් නිලධාරියකු පෙන්වා විරෝධතාකරුවෝ “මෙන්න මෙයා අර අහිංසක රාලහාමිලා මෝහනය කෙරුවා. ඔලුව අල්ලලා හොලවලා මෙයා ඒ පොලිසියේ මහත්වරුන්ව මෝහනය කළා. මෙයා තමයි නියෝග කරලා මැදිහත්වෙලා මේක කැඩුවේ. අහිංසක රාලහාමිලාව උසි ගැන්නුවේ මෙයා. බලන්න මෙයාගේ නිල ඇඳුමේ නමවත් නැහැ.

“දැන් අපේ කඩපු අට්ටාලය හදලා දෙන්න ඕනේ. අපි පොලිසියට කිව්වා උසාවි නියෝගයක් අරන් එන්න කියලා. ඒවා නැතිව තමයි අට්ටාල කඩන්නේ. අපේ අරගලයට එරෙහිව පොලිස් බස් ටික ගෙනල්ල අවහිර කළා. අපි මේ සම්බන්ධයෙන් මානව හිමිකම් ගියා. ඔයාලගේ ඩී අයි ජී කිව්වා ඔයාලට ප්‍රශ්න ඇති කරන්නේ නැහැ කරගෙන යන්න කියලා. හැබැයි ඇවිත් ප්‍රශ්න ඇති කළා. ඒවා වැරදියි.

මේක ඇත්තටම සාමකාමී අරගලයක්. අපිට දේශපාලනයක් නැහැ. අපි වෙඩි කන්න වුණත් ලෑස්තියි. අපි රටට ආදරෙයි. රට විනාශ වෙන්න දෙන්න බැහැ. අද අපේ රටේ මිනිසුන්ට කන්න නැහැ. බොන්න නැහැ.

ඉන් අනතුරුව අරගලයේ යෙදෙන තරුණ පිරිස එක් එක් නිලධාරියා ළඟට ගොස් “ඇත්ත කියන්න ඕගොල්ලො මේකට ගැහුවද? නැද්ද? ගැහුවනෙ කියන්න” යැයි පැවැසූහ. ඒ අවස්ථාවේ සමහර නිලධාරීන් එසේ කියද්දී (වීඩියෝ කරන නිසා) තම දෑතින් මුහුණ වසාගෙන සිටීමට උත්සාහ දරන ආකාරය දැකගත හැකිවිය.

කෙසේ වෙතත් අරලියගහ මැඳුර ළඟ විරෝධතාකරුවෝ තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටිමින් විරෝධතාවයේ යෙදෙමින් සිටිති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

 

advertistmentadvertistment
advertistmentadvertistment