අර්ජුන් ඇලෝසියස්ට රට යෑම උසාවිය අත්හිටුවයි – නීතිපතිගේ විරෝධය පිළිගනී

179

නතර වෙන්න යන්නේ මහේන්ද්‍රන්ගේ නිවසේ

සිංගප්පූරුවේ පදිංචි 13 හැවිරිදි සිය දියණියගේ විශේෂ ආගමික කටයුත්තකට සහභාගිවීම සඳහා දින හතක කාලයකට විදේශගතවීමට අවසර ලබා දෙන ලෙසට පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගම් සමූහයේ සමූහ අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස් මහතා කළ ඉල්ලීමක් බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (21) ප්‍රතික්‍ෂේප කළේය.

මහ බැංකු බැඳුම්කර නඩුවේ හතර වන විත්තිකරු වන අර්ජුන් ජෝශප් ඇලෝසියස් එලෙස විදේශගතවී සිටින කාලය අතර තුර නතර වී සිටින ස්ථානය ලෙස දක්වා ඇත්තේ මේ වනවිට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තු නිකුත් කර සිටින එම නඩුවේ පළමුවන විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් ලක්ෂ්මන් මහේන්ද්‍රන් නමැත්තාගේ නිවස බවත් ඔහු විදේශ ගතවුවහොත් අධිකරණය මඟහැර යෑමේ වැඩි ඉඩක් පවතින බවත් පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා දැක්වූ විරෝධතාව පිළිගත් විනිසුරු මඬුල්ල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. පළමුවන විත්තිකාර අර්ජුන් මහේන්ද්‍රන් හා සිය සේවාදායකයා අතර ඇති ඥාති සබඳතාවය මුළු රටටම රහසක් නොවන බවත් රට තුළ තිබෙන රුපියල කෝටි සිය ගණනක වත්කම් හා දේපළවල හිමිකරුවකු වන සිය සේවාදායකයාට කිසිසේත්ම අධිකරණය මග හැර පලායෑමේ අවශ්‍යතාවයක් නොමැති බවත් එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සාරුක් මහතා අධිකරණයට කියා සිටියේය.

එම විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබූ පොදු දේපළ පනත යටතේ ගැනෙන අධිචෝදනාවලින් ඔවුන් නිදොස්කොට නිදහස් කරමින් පසුගිය ඔක්තෝබර් 11 වැනිදා ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අභියාචනා පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය ඊයේ (21) දිනට පැවැත්වීමට නියමිතව තිබූ මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීම ලබන 29 වැනිදා දක්වා වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

එම කරුණු සලකා බැලූ චමත් මොරායාස්, දමිත් තොටවත්ත හා නාමල් බණ්ඩාර බලල්ලේ යන විනිසුරු මඬුල්ල මහ බැංකු බැඳුම්කර පළමු නඩුව ලබන ජුලි 7 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය. පළමු මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් රුපියල් මිලියන 688 ක මුදලක් සාවi පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ එම නඩුවේ විත්තිකරුවන් ලෙස අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ජෝශප් ඇලෝසියස් ඇතුළු 10 දෙනකු නම් කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment