අර්බුදයට චෝදනා  කළ යුත්තේ සොබාදහමටයි…. ආණ්ඩුවේ බහුතරය හොල්ලන්න බෑ!

416
  • ඇමැති දිනේෂ් ගුණවර්ධන

රජය සතු බහුතරය නැති කරන ප‍්‍රකාශවල වලංගු භාවයක් නොමැති සේම ආණ්ඩුවේ බහුතරය කිසි ලෙසකින් හෝ සෙලවිය නොහැකි බව පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ආණ්ඩුවේ ඇමැති ධුර අඩු කිරීම නොව ආණ්ඩුව වඩාත් ඵලදායී ලෙස සක‍්‍රීයව වැඩ කිරීම මේ අවස්ථාවේ කළ යුතු යැයි ද හෙතෙම පැවසුවේය.

අගමැති ධුරය භාර ගන්නා ලෙස කිසිදු අවස්ථාවක රජය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර නොමැති යැයි ද කී ඇමැතිවරයා රනිල් වික‍්‍රමසිංහ මහතා අත්දැකීම් ඇති අගමැති ධුරය කිහිපවතාවක් හෙබවූ පරිණත දේශපාලනඥයකු බව කීවේය.

ඔහුගේ අදහස් හා යෝජනාවලට කන්දීමට සූදානම් වුවත් ඔහුට අගමැති ධුරය පිරිනැමීමට කිසිදු බලාපොරාත්තුවක් නොමැති බවත් ඒ මහතා කීය.

මහනුවරදී ඊයේ (31 දා) මධ්‍ය හමුවේ අදහස් දක්වමින් ගුණවර්ධන මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

පසුගිය මහමැතිවරණයේදී රටේ ජනතාව රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබාදුන්නේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයක් බව ද අධ්‍යාපන ඇමැතිවරයා පැවසුවේය.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පුද්ගලයන්ට චෝදනා කිරීම පෙර චෝදනා කළ යුත්තේ ස්වභාව ධර්මයට බවත් කොවිඞ් හමුවේ සමස්ත ලෝකයම අර්බුදයකට පත්වූ බව අමතක නොකළ යුතු බවත් ගුණවර්ධන මහතා කීය.

විදේශ විනිමය සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලූව නිරාකරණය කර ගැනීමට මිත‍්‍ර රටවල සහය ලැබී තිබෙන බව ද ඒ මහතා ප‍්‍රකාශ කළේය.

සමන්තී විරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment