අර්බුදයට හුරුවෙලාද

985

දෙකෝටි විසිලක්‍ෂයක් වන මෙරට ජනගහනයෙන් පනස්ලක්‍ෂයක් කුසගින්නේ සිටින අතර කුඩා දරු දැරියන් 56000 ක් ඉතා දරුණු ලෙස මන්දපෝෂණයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ. මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගෙන් වැඩිදෙනා අවුරුදු 5 ට අඩු අය බව ද එය භයානක තත්ත්වයක් වන බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබේ.

මෙය මේ මොහොතේ දී ශ්‍රී ලංකාවේ පවතින එක් තත්ත්වයක් පමණි. මීට අමතරව කිසි කලෙකත් නොතිබුණු ජාතික මට්ටමේ අර්බුද ගණනාවකට මේ රට මුහුණ දී ඇත. දේශපාලන අස්ථාවරභාවය, ඩීසල් සහ පෙට්‍රල් හිඟය, භූමිතෙල් සුවඳක්වත් නැති වීම, ගෑස් නැත්තටම නැතිවීම, ආහාර ද්‍රව්‍ය මිල අධික වීම සහ ඒවා විශාල වශයෙන් හිඟවීම මෙකී ප්‍රමුඛ අර්බුද ලෙස අපට හඳුනාගත හැක. ඇතැම් මිනිස්සු ස්වකීය භාණ්ඩ ප්‍රවාහන වාහන ඩීසල් පෝලිම්වල ගසාගෙන දවස් 5 ක් පමණ බලාගෙන සිටිති. දවස් 5 කට පමණ පසු ඩීසල් පැමිණෙන විට ඩීසල් පෝලිම කිලෝමීටර් 5 ක් පමණ දිගය. මෙයින් අඩකට පමණක් තෙල් ගහන විට ඩීසල් ඉවරය. ඉන්පසු ඩීසල් එන්නේ තවත් දින 5 කිනි. එවිට පෝලිම්ගත ජනයා දවස් 10 ක් ඩීසල් පෝලිමේ ගතකළා වෙයි. ආණ්ඩුව නිතරම කල්පනා කරන්නේ අප තිබෙන තත්ත්වය වැඩිදියුණුකර මහජන අරගල ඇති කිරීමට උත්සාහ කරන බවය. එහෙත් මෙය සැබෑ තත්ත්වයයි. ඉන්ධන නොමැතිවීම සඳහා භාණ්ඩ ප්‍රවාහනය ශූන්‍ය තත්ත්වයකට පත්ව ඇත. මේ රටේ නිෂ්පාදකයෝ මේ වෙලාවේදී අර්බුද දෙකකට මුහුණ දෙති. පළමුවැන්න වන්නේ භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය නැතිකමය. ව්‍යාපාරිකයා අත රුපියල් තිබුණත් භාණ්ඩ ලබා ගැනීමට සිදුවන්නේ ඇමරිකන් ඩොලර් වලිනි. දෙවනුව කොහෙන් හෝ අමුද්‍රව්‍ය ටිකක් ගෙන භාණ්ඩ නිෂ්පාදනය කළ ද ඒවා බෙදාහැරීමට ඩීසල් නැත. මේ මොහොතේදී මේ රටේ සතොස ශාඛා සියල්ලේම රාක්ක හිස් ය. සුපර් මාර්කට්වල අත්‍යවශ්‍ය භාණ්ඩ නැති අතර, අවශ්‍ය නොවන භාණ්ඩවලින් රාක්කවල හිස්තැන් වසනු ලැබ ඇත. භූමිතෙල් යනු මේ රටේ පහළ පන්තියේ ජනතාවගේ ප්‍රධාන ඉන්ධන දෙකෙන් එකකි. ඔවුන්ගේ ප්‍රධාන ඉන්ධනය දර ය. ඊළඟ ඉන්ධනය භූමිතෙල් ය. තට්ටු නිවාසවල ජීවත්වන පහළ මධ්‍යම පාන්තිකයන්ට දරවලින් ළිපවල් පත්තුකිරීමට නොහැක. මේ රටේ පහළ මධ්‍යම පාන්තික තට්ටුනිවාස වැඩි හරියක් කුකුල් කූඩුවකට වඩා ටිකක් ලොකුය. මෙවැනි තැනකදී දර ළිපක් පත්තු කළහොත් වැරදි ආරංචි ලැබී ෆ්ලැට් එක ගිනිගන්නවා යැයි සිතා ගිනි නිවන හමුදාව පවා පැමිණීමට ඉඩ ඇත. එබැවින් ඔවුන්ට නිරන්තරව සිදුවන්නේ ගෑස් හෝ භූමිතෙල් මත යැපීමටය. දැනට ගෑස් නැත්තටම නැති නිසා ඒ වෙනුවට යොදා ගන්නේ භූමිතෙල් ය. මේ මොහොතේදී භූමිතෙලුත් නැත. තට්ටු නිවාසවල ජීවත්වන අයට විදුලි ළිපකින් ආහාර උයා ගැනීමට හැකිය. එහෙත් එක් මාසයක් එසේ කළහොත් දෙවැනි මාසයේදී ගෙදර තිබෙන ප්ලග් පොයින්ට් එකට ඇඟිලි දමා විදුලිසර වද්දවාගෙන සියදිවි නසා ගැනීමට ගෘහමූලිකයාට සිදුවේ. එබැවින් ඉන්ධන හිඟයේදී සාමාන්‍ය ජනතාව විදුලිබලය දෙස නිකමටවත් නොබලති.

ශ්‍රී ලංකාව තවත් කොපමණ කලක් මේ ආකාරයෙන් ජීවිතය ගැටගසා ගනු ඇත්ද? මේ රටේ මිනිසුන් අර්බුදයට හුරු වී ඇතැයි ඇතැම් දේශපාලනඥයන් කල්පනා කරයි. එය බෙහෙවින් වැරදි වැටහීමකි. මිනිස්සු අර්බුදයට හුරු නොවෙති. ඔවුන් කරන්නේ අර්බුදය ඉවසීමය. අර්බුදය ඉවසීම යනු වෛරය ගබඩා කිරීමය. එක් තැනකදී මේ ගබඩාව කොපමණ පිරී යත්ද යත් එහි දොර කැඩී වෛරය කිසිදු පාලනයක් නැතිව ගලා යෑමට ඉඩ තිබේ. අරගලය පටන් ගන්නේ එතැනිනි. අප මේ කියන්නේ ගෝල්ෆේප් පිට්ටනියේ මෝඩ අරගලය ගැන නොව, සැබෑ ජන අරගලය ගැන ය. සැබෑ ජන අරගලය ඇවිස්සුනු පසු එය ක්‍රමානුකූලව සිවිල් යුද්ධයක් බවට පත්වේ. මෙය ලෝකයේ රටවල් ගණනාවකදීම සිදුවී ඇත. වෙසෙසින්ම අප්‍රිකානු මහාද්වීපයේ සිවිල් යුද තත්ත්වයන් ගණනාවකට මුල් වූයේ අරගලය පුපුරා යෑමය.

මේ අරගලය විසඳීම සඳහා උනන්දුව ඇත්තේ දේශපාලකයන් අතලොස්සකට පමණි. සෙසු අය තැත් කරන්නේ මේ අර්බුදය ස්වකීය බඩගෝස්තරය වඩවා ගැනීමේ මාර්ගයක් ලෙස පාවිච්චි කිරීමටය. උදාහරණයක් වශයෙන් මේ වේලාවේදී මේ රටේ විපක්‍ෂය රටේ තිබෙන සියලුම බයිලා කියමින් ස්වකීය බලය තහවුරු කර ගැනීමට තැත්කරයි. පොහොට්ටු කට්ටිය සිදුකරන්නේ ද එහි නිර්මිතය වූ කුඩා බල කණ්ඩායම්වල ශක්තිය වැඩිකරගෙන ලොකු බලවතකු බවට පත්වීමටය. මේ රටේ තිබෙන අර්බුදය විසඳීම ප්‍රමුඛ අවශ්‍යතාව නම් අවංක දේශපාලනඥයෙක් කිසි විටෙකත් මෙලෙස හැසිරෙන්නේ නැත. එහෙත් ලංකාවේ දේශපාලනය අංග සම්පූර්ණ කුණුගොඩකි. ඒ කුණු ගොඩේ පණුවන් වී ඉපිද එම කුණුගොඩ කමින් වසුරු හෙළා එම වසුරුද අනුභව කරමින් ජීවත්වන දේශපාලන කණ්ඩායම් මේ රටේ වෙති. එය රටේ හෝ ජාතියේ අවාසනාව පමණක් නොව මුළු ලෝකයේම අවාසනාවකි. ශ්‍රී ලංකාව යනු ලෝකයේ හැම රටක් සමඟම සම්බන්ධකම් පවත්වන දේශයකි. ශ්‍රී ලංකාවේ දේශපාලනය කුණුගොඩක් නම් එම කුණුගොඩ සමඟ සම්බන්ධකම් පැවැත්වීමට වෙනත් රටවල්වලට සිදුව තිබෙන විට එම රටවල් ද අවාසනාවන්ත වෙති. ලෝකයේම අවාසනාවන්ත යන යෙදුම අප විසින් යොදන ලද්දේ ඒ අර්ථයෙනි.

මේ රටේ අද ශිෂ්‍ය අරගලකරුවන් වැඩිදෙනා මතුයම් දවසක අරගල භූමියෙන් නිදහස්ව යන අතර, පසු කාලයේදී ස්වකීය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා උසස් වෘත්තීන්වල නිරත වෙති. උදාහරණයක් ලෙස අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු දැන් ගත කරන ජීවිතය දැක්විය හැකිය. මේ වන විට ඔහු ඉතා ධනවත් නීතිඥයෙකි. ඔහු සමඟ සටන් බිමේ සිටි සහෝදර සිසුන්ගෙන් වැඩි දෙනා අදටත් කුලී වැඩ කරන කම්කරුවෝ ය; පීඩිතයෝය.

advertistmentadvertistment
advertistmentadvertistment