අර්බුදයෙන් ගොඩඑන්න ආණ්ඩුවට කිසිම සැලැස්මක් නෑ

97

අධිෂ්ඨානශීලී මහජනතාවට රට අනිත් පැත්තට හැරවිය හැකියි

  • ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා

මේ රට අනිත් පැත්ත හරවනවා නම් හරවන්න පුළුවන්කම තියෙන්නේ මේ රටේ අධිෂ්ඨානශීලි මහජනතාවට විතරක් යැයි ජාතික ජන බලවේගය හාළිඇල ආසන සමුළුව ඇමැතූ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

“විසඳුම වෙනුවෙන් ජන බලය ගොඩනඟන ජාතික ජන බලවේගය” මැයෙන් පසුගියදා පස්වරුවේ හාළිඇල නගරයේ පැවැති එම සමුළුව ඇමතූ ටිල්වින් සිල්වා මහතා තවදුරටත් මෙසේද පැවැසීය.

“අපි හදන්න ඕන මොන බලයද? ජනතා බලය හදන්න ඕන. අන්න ඒ ජනතා ව්‍යාපාරය නිර්මාණය කිරීම වෙනුවෙන් තමයි රට පුරාම, ලෝකය පුරාම ආමන්ත්‍රණය කරන්නේ. විවිධ පක්ෂවල හිටිය බොහෝ දෙනා ඒ පක්ෂ අතහැරලා ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳ ගනිමින් සිටිනවා.

මේ රටේ අලුත් සමාජයක්, අලුත් ආර්ථිකයක් හදන්න ඕන. අපි ජනතාව විශ්වාස කරනවා. ජනතාවගේ ඒ බලය ගැන විශ්වාස කරනවා. අපිට අචල විශ්වාසයක් තියෙනවා ඊළඟ පාර මොන ඡන්දයක් තිබ්බත් මේ දුෂ්ට ආණ්ඩුව පරාජයට පත් කරලා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා.

කවුරුවත් හිතන් ඉන්න එපා රනිල් වික්‍රමසිංහ රටට කිසියම් හොඳ දෙයක් කරයි කියලා. රට හදන පැත්තක නොවෙයි ඉන්නේ. එයා ජනාධිපති වනවිට විශාල අර්බුදයක් තිබ්බා. ඒ නිසා ජනාධිපතිකම භාර ගත්තාම අර්බුදයට පත් ජනතාවට සහනයක් දෙන්න ඕන.

රනිල් වික්‍රමසිංහ අනුගමනය කරන්නේ ජනතාවගේ පැත්ත නොවෙයි. මොකද එයා ජනතාව පත් කරපු ජනධිපති නොවෙයි. එයා පත්කළේ පාර්ලිමේන්තුවේ 134 දෙනෙක්. ඒ නිසා එයා සේවය කරන්නේ රාජපක්ෂ කණ්ඩායමටයි.

ආණ්ඩුවට අර්බුදයෙන් ගොඩඑන්න කිසිම සැලැස්මක් රනිල් වික්‍රමසිංහට නැති එක අපිට ඉතා පැහැදිලියි. 2023 අයවැය ඉදිරිපත් කර 74 වසරක් ආපු ගමන්

මඟ වැරැදියි කීවා. රට හදන එක අමාරුයි දුෂ්කරයි කීවා. අමාරුකම්වලට මුහුණ දෙන්න වෙයි කිව්වා. රට ගොඩ ගන්න පුළුවන් 2048 දී කිව්වා. ඊට පසසේ අයවැය ඉදිරිපත් කළා. ඒකෙ අලුත් යමක් මොකුත් තිබ්බේ නැහැ.

අයවැය සාරාංශ කළාම තියෙන්නේ කරුණු 3 යි. එක බදු ගහන එක. දෙක විකුණන එක. තුන ණය ගන්න එක. අයවැය පරතරය බිලියන පන්දාහට කිට්ටු ගාණක් තියෙනවා. ලබන වසරේ ණය

ගන්න රුපියල් බිලියන 4979 ක් යෝජනා කරලා තියෙනවා. පසුගිය කාලේ ගත්ත ණය ගෙවන්නේ නැතිව කවුද ණය දෙන්නේ. ඔය අයවැය ලේඛනයේ වැය ශීර්ෂයට දාපු එකක්වත් කරන්න වෙන්නේ නැහැ. එම නිසා රටට අනාගතයක් නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය –

අද අපි එක්ක වැඩිපුරම එකතු වෙන්නේ මේ රට පාලනය කරපු, දේශපාලන පක්ෂ එක්ක වැඩ කරපු ඒ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති සහ නායකයන් ගැන කළකිරුණු පිරිසක්. මේ සියලුම දේශපාලන නායකයන් තමන් පාවිච්චි කළේ ඔවුන්ගේ බල ව්‍යාපෘති වෙනුවෙන් කියලා ඔවුන්ට දැන් තේරුම් ගොස් තිබෙනවා. ඒ තේරුම් ගැනීමට අවශ්‍ය සාධක මේ පාලකයන් විසින් සපයමින් ඉන්නවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා –

පසුගිය දවසක ජනාධිපතිවරයා බදුල්ලට ආවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ

රැස්වීමක් තිබ්බා. නිලධාරීන් සහ මහජන නියෝජිතයෝ ආවා. අපිට පෝර ගැටලුවක් තියෙනවා. වී ගොවියාට, එළවළු ගොවියාට, තේ ගොවියාට පෝර ටික බෙහෙත් ටික නැහැ. ආර්ථිකය වැටිලා තියෙන්නේ කිව්වා.

ජනාධිපතිවරයා මොනවද කිව්වේ? දැන් කරන්න දෙයක් නැහැ. ඔය යන විදියට යන්න. ඕවා දෙන්න සල්ලි නැහැ කියලා. නැතිනම් මොකටද ආවේ. උත්තර නැතිව ඇවිත් තියෙන්නේ.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රුවන් රණසිංහ මහතා –

නිදහසින් පස්සේ අවුරුදු 75 ක් ගතවන මේ වෙලාවේ අපේ ආර්ථිකය කඩාවැටිලා. වතු කම්කරුවන්ට රුපියල් දහසක දිනක වැටුප ගෙවන්න බැරි පාලනයක් අපි නඩත්තු කළ යුතුදැයි අපි අපෙන් ඇසිය යුතුව තිබෙනවා.

හාළිඇල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත වරුෂමාන මහතා – පසුගිය කාලේ බලාපොරොත්තු සහිතව දිනවපු ආදරණීය පොදුජන පෙරමුණ, ශ්‍රී.ලං.නි.පක්ෂය සහ එ.ජා. පක්ෂය සමග සිටි විශාල පිරිසක් කොට්ඨාස සභාවලදී අපි සමග එක්ව සිටිනවා.
බදුල්ල – එච්.එම්.සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment