අර්බුදයේ ඇතුළාන්තය

285
අර්බුදයේ ඇතුළාන්තය

මේක තුවාළයක් පැලැස්තර හරියන්නේ නැහැ

අර්බුදය පටන් ගත්තා පමණයි…ඉදිරිය භයානකයි

විසඳුම ජනතාවාදී ආණ්ඩුවක්

සිංදු කියන, කවි, විරිඳු කියන අවිහිංසක ජනතා අරගලය තුළට ප්‍රචණ්ඩත්වය ඇතුළු විය. ඒ ගෝඨාභයට යන්න කියමින්, කුසගින්දර නිවාගැනීමට සහන ඉල්ලා අරගල කරන අසරණ ජනතාව අවි ආයුධ අතටගෙන පොලිසියට පහරදී නොවේ. පැවති මිලට ඉන්ධන ඉල්ලා රඹුක්කන ජනතාව කරගෙන ගිය සාමකාමී උද්ඝෝෂණයට පොලිසිය විසින් වෙඩි තබා තරුණයෙක් ඝාතනය කිරීමත් සමඟය.

පසුගිය 19 වැනිදා රඹුක්කන නගරයේ දුම්රිය මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක නියැලුණු ජනතාවට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර සහ වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමඟ විශාල පිරිසකට තුවාල සිදු වී රෝහල්ගත කර තිබිණි. බරපතළ ලෙස තුවාල ලබා සිටි එක් තරුණයෙක් මිය ගියේය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කිහිපදෙනෙක් මේ සටහන තබන මොහොත වන විටත් දැඩිසත්කාර ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

උද්ගතව ඇති තත්ත්වය අතිශය ම්ලේච්ඡය. ගෝත්‍රික සමාජයකදීවත් මෙවැනි ඝාතන සිදු නොවේ. එහෙයින් රඹුක්කන අවාසනාවන්ත සිද්ධිය ගැන තවත් කතා කිරීම ලේ රත්වීමකි. මෙවැනි රටක ජීවත්වීමේ කරුමය ගැන තවත් විඳවීමකි. එහෙයින් රඹුක්කන ඛේදවාචකයත් සමඟ පවතින අරගලකාරී තත්ත්වය ගමන් කරන දිසාව ගැන පක්‍ෂ, විපක්‍ෂ අපක්‍ෂපාතී විවිධ තරාතිරම්වල පුද්ගලයන් සමඟ අපි කතාබහ කළෙමු. එහෙත් අදහස් විමසූ බහුතරය මේ මොහොතේ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව කියන විට අප විශ්මයට පත් විය. ගෝල්ෆේස් අරගල භූමියේ දේශාභිමාන සින්දු කියූ ජනප්‍රිය ගායිකාවන්, ජනප්‍රිය කලාකරුවන් ‘දැන් තත්ත්වය දරුණුයි අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනවා’ කියන හඬ දුරකථනයේ දෝංකාර දෙන විට ජනතා අරගලයේ හෙට දවස ගැන බියක් දැනිණි. එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුවගේ කරුණු දැක්වීමත් සමඟ අපි ජීවත්වන රටේ හෙට දවස ගැන තිබූ බිය තවත් වැඩි විය.

“2018 අවුරුද්දේ ඉඳලා මේ අනතුර ගැන අපි කතා කළා. ආර්ථික වශයෙන් ණය බුබුලක් ගැන ප්‍රසාරණය කළා. දැන් ඒ ණය බුබුල පුපුරා ගිහින් තියෙනවා. ණය ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද නොව තව වසර පහකට පමණ ණය ගෙවාගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ අර්බුදයේ ආරම්භය පමණයි. අනාගතයේදී රටක් වශයෙන් ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලන වශයෙන් අර්බුද ගණනාවකට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම පවතින ආර්ථික පීඩනය දරාගන්න බැරිව මේ වෙනකොටත් රටේ ජනතාව පාරට බැහැලා තියෙනවා. වැඩිහිටියන් ජීවත් වෙන්න සටන් කරනවා. තරුණ පිරිස හෙට ගැන හිතලා සටන් කරනවා. මේ අරගලය දේශපාලන විසඳුමක් දක්වා ඉදිරියට අරගෙන යෑමට දේශපාලන පක්‍ෂයක් විදිහට අපි මැදිහත් වෙලා සිටිනවා…”

“විශේෂයෙන්ම පවතින ජීවන වියදමට සාපේක්‍ෂව රටේ වෘත්තිකයන්ගේ වැටුප් වැඩි වෙන්න ඕනෑ. ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වය වර්ධනය වෙන්න ඕනෑ. ධීවර ජනතාවට, ස්වයං රැකියාවල නිරත වී සිටින පුද්ගලයන්ට, සුළු ව්‍යාපාරිකයන්ට සහන ලබාදෙන්න ඕනෑ. ඒක කරන්න පුළුවන්. මේ වෙනකොට අපනයනකරුවන් අති විශාල ලාභයක් ලබමින් සිටිනවා. මීට පෙර ඩොලර් එකට ලැබුණේ රුපියල් 190 ක් නම් දැන් රුපියල් 340 ක් ලැබෙනවා. ඩොලරයේ අගය ඉහළ යෑම තුළ තේ කර්මාන්තශාලා උපරිම ලාභයක් ලබාගන්නකොට වතු කම්කරුවන්ට රුපියලක වැටුප් වැඩිවීමක් ලබාදීලා නෑ. ඒත් වතු කම්කරුවන් කෑමට ගන්න පාන් පිටි කිලෝව රුපියල් 220 දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම 2021 වර්ෂයේදී ඩොලර් බිලියන විසිඑකහමාරක ආනයන වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ ආනයන තිබුණේ ඩොලර් බිලියන දහඅටක. පවතින ඩොලර් අර්බුදය තුළ බිලියන තුනහමාරකින් ආනයන වැඩි වෙලා තියෙනවා. වාහන, පොහොර ආනයන නොකරන තත්ත්වයක, තවත් බොහෝ දේවල්වලට සීමා පනවා තිබෙන තත්ත්වයක ආනයන වැඩිවීම, ඩොලර් රටින් පිටවීම ගැන බරපතළ ගැටලුකාරී තත්ත්වයක්. අපිට ලැබෙමින් තිබෙන තොරතුරුවලට අනුව රුපියල කඩා වැටීම ගැන පෙර සිට අවබෝධ කරගත් ඇතැම් මහා පරිමාණ සමාගම් වසර ගානකට අලෙවි කිරීමට ප්‍රමාණවත් ඉලෙක්ටොනික් උපකරණ තොග පිටින් ගෙනත් තියෙනවා. ඒ වගේම සමහර භාණ්ඩවල මිල ඩබල් කරලා රට ඇතුළේ ඩොලර් එළියට ගෙනිහින් තියෙනවා. ඔවුන් එහෙම කළේ නැවත ඩොලර් ගන්නකොට විශාල ලාභයක් ලබාගන්න. ඒ වගේම ජනවාරි 18 වැනිදා ඩොලර් මිලියන පන්සියක ණය වාරිකයක් ගෙව්වා. ඒ ණය වාරිකය ගෙවන්න පෙර අපි එපා කිව්වා. අන්තිමේ රටේ ජනතාවට බෙහෙත් ටික ලබාගන්න ලෝක බැංකුවෙන් ණය ගන්න වෙන තරමට රටේ ඩොලර් නැති වුණා…”

අර්බුදයේ ඇතුළාන්තය

“පවතින අර්බුදය කළමනාකරණය කරගන්න කාලය තිබුණා. ඒත් අදටවත් ආණ්ඩුව විසින් මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන බවක් පේන්න නෑ. අර්බුදය උත්සන්න වෙන්න ජනතාවගේ නැඟිටීම තව වැඩි වෙනවා. දරුවන්ගේ කුසගින්දර නිවන්න ආදායමක් නැති වෙනකොට, බස් එක, ත්‍රිරෝද රථය දුවවන්න තෙල් ටික නැති වෙනකොට මිනිස්සු පාරට බහින එක නතර කරන්න බෑ. තව, තවත් ජීවන වියදම ඉහළ යනකොට මාස් පඩි ගන්න පෞද්ගලික, රාජ්‍ය අංශයේ අයත් පාරට බහිනවා. ඒ නිසා මේ අර්බුදය විසඳීමට පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍යයි. එහෙම නැතිව පාරට බැහැලා අරගල කරන ජනතාවට වෙඩි තියලා, බය කරලා මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න ආණ්ඩව බලාපොරොත්තු වෙනවා නම් ඒක විහිළුවක්. මේ අර්බුදය එහෙම පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. දවසින්, දවස අර්බුදය උත්සන්න වෙනවා. තව සතියක්, දෙකක් යනකොට රෝහල්වල බෙහෙත් නැති වෙනවා. රෝගී තාත්තා, අම්මා බෙහෙත් නැතිව රෝහල තුළ මියැදෙනකොට දරුවො බලා හිටීද? ඒ වගේම තව දින කිහිපයක් යනකොට ඖෂධ මිලත් විශාල වශයෙන් වැඩි වෙනවා. පෞද්ගලික රෝහල්වල, ෆාමසිවල අධික මිලට බෙහෙත් අලෙවි කරන්න පටන් ගනී. ඒ තුළ රටේ සාමාන්‍ය ජනතාව තවත් අසරණ තත්ත්වයට පත් වෙනවා…”

“මේ වෙනකොට කිසිම භාණ්ඩයකට පාලන මිලක් නෑ. රුපියල් 115 ට දෙන්න පුළුවන් හාල් කිලෝව අද රටේ ජනතාව 210 ක මුදලකට මිලදී ගන්නවා. මේ අර්බුදය තුළ හාල් මෝල් මාෆියාව අධික ලාභයක් උපයමින් සිටිනවා. ඒත් තවම රටේ හාල් මෝල් මාෆියාව පාලනය කරන්න ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. මේ වෙනකොට සිමෙන්ති වෙළෙඳාමත් මාෆියාවක් වෙලා. ඉන්ධන වෙළෙඳාම මාෆියාවක් වෙලා. මේ සෑම දේකින්ම පීඩාවට, කලකිරීමට පත් වෙන්නේ රටේ ජනතාව. රඹුක්කනදී පුපුරා ගියෙත් ජනතා පීඩනය. ඉන්ධන මිල වැඩි වෙන නිසා තෙල් බවුසරය එන දවස පරක්කු කළා. ඒක රඹුක්කන ප්‍රදේශයේ ඇතැම් දේශපාලනඥයන්ගේ සහ අදාළ ඉන්ධන අලෙවිසල් අයිතිකරුගේ කුමන්ත්‍රණයක්. දවස් දෙකක් තිස්සේ පෝලිම්වල හිටපු මිනිස්සු පරණ මිලට ඉන්ධන ඉල්ලගෙන උද්ඝෝෂණ කළා. අවසානයේ සමකාමී උද්ඝෝෂණයක් කරපු නිරායුධ මිනිසුන්ට පොලිසියෙන් වෙඩි තියලා තරුණයෙක් මරා දාලා විශාල පිරිසක් තුවාල කළා…” පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුවගේ කරුණු දැක්වීම අවසානය. අනතුරුව අපි ගෝල්ෆේස් අරගල භූමියේ සිටින සහ අරගලයට පක්‍ෂ, විපක්‍ෂ කිහිපදෙනකුවම දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් පවතින තත්ත්වය ගැන කරුණු විමසුවෙමු. එහෙත් පවතින අර්බුදකාරී තත්ත්වය ගැන කරුණු ඉදිරිපත් කිරීමට ඔවුහු මැලි වූහ. නිර්භයව අදහස් දැක්වීමට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා රාමක්‍ද්ක්‍ද මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවෝ පමණි.

අර්බුදයේ ඇතුළාන්තය

“තුවාලයක් ඇති වුණාම ඉක්මනට ප්‍රතිකාර කර සුවපත් නොකරන්න, කුණු වෙනවා. උඩු දුවනවා. බැහැරින් ඇට මැස්සො වගේ සතුන් වහලා ඉහඳ තියෙනවා. එහෙම වුණාම තුවාලය නරක් වෙලා ජීවිත පවා නැති වෙනවා. මේ ජනතා අරගලයත් තුවාලයක්. ඒ තුවාලයට ඉක්මනට ප්‍රතිකාර කරන්න පාලකයො කටයුතු කළේ නෑ. දැන් තුවාලය කුණු වෙලා. උඩු දුවලා. ඕජස ගලන තුවාලයට බැහැරින් පැමිණෙන විවිධ කණ්ඩායම් ඉහඳ තියෙන්න පටන්ගෙන. දැන් තත්ත්වය දරුණුයි. දීර්ඝ කාලයක් තිස්සේ මිනිසුන්ගේ ඉවසීම දොරේ ගලනවා. ඒ තුළ මේ රට දේශපාලන අස්ථාවරභාවයකට, බංකොලොත්භාවයකට පත් වෙන්න ඉඩ තියෙනවා. දැනටමත් ආධාර දෙන මුවාවෙන් තමිල්නාඩුවේ නිලධාරීන් යාපනයේ බඩු බෙදනවා කියලා ආරංචියි. බෞද්ධ විරෝධී කණ්ඩායම්වල ඉස්මතුවීම් පෙන්නුම් කරනවා. ඒ විදේශීය අතපෙවීම අතිශය භයානක තත්ත්වයක්. කිසිම හේතුවක් මත ඉන්දියාව අපිට සද්භාවයෙන් පිහිට වෙන්නේ නෑ. එවැනි විදේශීය අතපෙවීම්වලට ප්‍රධාන හේතුව පවතින ආර්ථික අර්බුදය. ඒ තුළින් නිර්මාණය වී තිබෙන දේශපාලන අර්බුදය. රට තව, තවත් ව්‍යසනකාරී තත්ත්වයකට තල්ලු වෙන්න පෙර දැන්වත් පාලකයො නම්‍යශීලී වෙන්න ඕනෑ. ජනතා හඬට සවන්දිය යුතුයි. බලයට කෑදරකමින් දැඩි අදහස්වල හිටියොත් අපට මුළු රටම අහිමි වෙන තත්ත්වයට පත් වෙනවා…”

“මහානායක හාමුදුරුවොත් නිවේදනයක් නිකුත් කරමින් අර්බුදයට සාධනීය විසඳුම් ලබාදීම වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමෙන් එකී අර්බුදයට විසඳුම් නොලැබෙන බව පෙන්වාදී තියෙනවා. මහජන විරෝධතා මර්දනය කිරීම නොකළ යුතු බවත් උන්වහන්සේලා පෙන්වා දී තියෙනවා. ඒ වගේම රට තුළ පවතින සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුද විසඳමින්, මහජනතාවට සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් උන්වහන්සේ ජනාධිපතිවරයාට භාරදීලා තිබුණා. එකී යෝජනා මාලාව පිළිබඳ සාධනීය අවධානයක් යොමු නොකිරීම පිළිබඳවත් උන්වහන්සේ අසතුට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මහනායක හාමුදුරුවන්ගේ උපදෙස් පිළිපදින්නේ නැතිව ආශීර්වාද ලබාගන්න පමණක් එන්න එපා කියලා උන්වහන්සේ දැඩිව ප්‍රකාශ කරලා තියෙනවා. මහානායක හාමුදුරුවන්ගේ ඒකමතික ඒ තීන්දුව හරිම වටිනවා. ඕනෑම අමන වැඩක් කරලා උන්වහන්සේලා ඉදිරියට යන දේශපාලනඥයන්ට ඒක හොඳ පාඩමක්…” ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ගේ අදහස් දැක්වීමෙන් අනතුරුව ද තවත් කිහිපදෙනකුට අපි කතා කළෙමු. ඇතැම් පුද්ගලයන්ට ඇමැතුම් කිහිපයක් ලබාගත්ත ද දුරකථනයටවත් සම්බන්ධ නොවිණි. එවැනි පසුබිමක ගෝල්ෆේස් අරගල භූමියේදී ප්‍රසන්නජිත් අබේසූරිය (නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මාස්ටර්) කියන මේ කතාවට අපි සවන් දුන්නේමු.

“අපේ ඇතැම් කලාකරුවො, හිතවත් විශ්වවිද්‍යාල ආචාර්යවරු කියනවා මේ වෙන දේවල් ගැන කම්පාවට පත් වෙලා ඉන්නේ කියලා. ඔවුන් පමණක් නොව මෙරට බහුතරය වගේම මුළු ලෝකේම ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් කම්පාවට පත්වෙලා ඉන්න බව හැබෑව. ඒත් කම්පනයට පත්වෙලා විතරක් වැඩක් නෑ. වඩාත් ජනතාවාදී, ජනතාව ගැන සිතන හොරකම් නොකරපු දේශපාලන බලවේගයකට මේ රට භාරදීමට සියලු ශ්‍රී ලාංකිකයන් පෙළගැසිය යුතුයි. ඒ වගේම පෙර වැරැදි නිවැරැදි කරගන්න හොඳම වෙලාව පැමිණ තිබෙනවා. මුළු රටක් එක හඬින් කෑගහලා කියද්දී තවත් නිහඬව ඉන්න එපා. මේ අර්බුදයෙන් රට බේරාගැනීමට අවශ්‍ය දේශපාලන විසඳුමක් පමණි. ඒ වගේම නැවත එලවන්න නායකයො පත් නොකර ජනතවාදී නායකයෙක් පත් කරගන්න අපි එකතු වෙමු…”

අර්බුදයේ ඇතුළාන්තය

මාස්ටර්ගේ කතාවට අපිදු එකඟය. මේ රටේ පීඩිත ජනතාව රැවටුණා ඇති. අරගල අතරතුර මහ මඟ දොරේ ගලා ගිය රුධිරය දැක්ක ඇති. පිපාසය නිවාලන්නට වතුර ඉල්ලා පාරට බැහැපු රතුපස්වල ජනතාවට මෙරට ආරක්‍ෂක අංශ විසින් වෙඩි තබා මරා දැමූ ආකාරය මේ රටේ මිනිසුන්ට අමතක නැත. රතුපස්වල ගම් පුරා සුදු කොඩි ළෙල දුනු ආකාරය දැනුදු මට මැවී පෙනේ. කටුනායක වෙළෙඳ කලාපයේ සේවක අරගලය මැඬපැවැත්වීමට හමුදාව විසින් පත්තු කර තුවක්කු බටවලින් ඉඟිලුණු ගිනියම් උණ්ඩ රොෂේන් චානකගේ හදවත පසාරු කරගෙන ගොස් මැරී වැටී සිටි ආකාරය රටේ ජනතාවගේ ඔළු ගෙඩි තුළ යළිත් හොල්මන් කරන්න පටන්ගෙනය. මුහුදු යෑමට තෙල් සහනාධාරයක් ඉල්ලා හලාවත පැවැති ධීවර උද්ඝෝෂණයට ආරක්‍ෂක අංශ විසින් එල්ල කළ ම්ලේච්ඡ වෙඩි වරුෂාවට ඇන්ටනී බිලි විය. එම උද්ඝෝෂණය තුළ දී වෙඩි වැදී ජීවිතය බේරී පාදයක් අහිමි ධීවරයෙක් පසුගිය දිනක ගෙල වැලලාගෙන මිය ගියේය. ඒ තම තරුණ බිරිඳ ආබාධිත ඔහුව සහ දරුවන් ද අතහැර බෝට්ටු අයිතිකාරයෙක් සමඟ වෙනතක යෑමේ වේදනාව දරාගැනීමට නොහැකි වූ කම්පනයෙනි. ඒ සියලු විපත් ඇති වූයේ පීඩිත ජනතාවගේ හඬ පාලනය කිරීමට මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් ගෙන ගිය මිලිටරි ප්‍රතිපත්ති නිසාය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට අරලිගහ මන්දිරයෙන් මැදමුලනට යෑමට ඒ ඛේදවාචක සාපයක් වූ බව ද සැබෑය. මේ වන විට ගෝඨාභය රාජපක්‍ෂ පාලනයට ඒ අඳුරු, මූසල අතීතය අමතක වී ඇත. මේ රටේ තරුණ, තරුණියන් මඟ තොටේ තාප්ප පුරා චිත්‍ර ඇඳ, පුරන් කුඹුරු අස්වද්දා ‘ගෝඨාභය රාජපක්‍ෂ වීරයෙක්’ ලෙස සලකමින් බලයට ගේන්න කරපු කැපකිරීම රාජපක්‍ෂවරු කෙටි කාලයකින් අමතක කළහ. හැටනව ලක්‍ෂයක බලාපොරොත්තු කබලෙන් ළිපට වැටිණි. දැන් පිච්චෙමින් මියැදෙනවා හැරෙන්නට වෙන කළ හැකි කෙන්ගෙඩියක් නොමැත. රට, ජාතිය ගොඩනැඟීමට බලයට පත් වූ ගෝඨාභය රජය අනාගෙන හත්පොළේ ගාගෙන පච වී අවසානය. අපගේ ලේ නහර උණු වී කකියන්නේ මෙරට තරුණ පරම්පරාව ගෝඨාභය රාජපක්‍ෂ රටේ ජනාධිපති කළේ වෙඩි කා බල්ලො, බලල්ලු ගානට මහ මඟ මියැදෙන්න නොව, මෙරටට සුබ අනාගතයක් නිර්මාණය කිරීමට බව සිහිපත් වෙනකොටය.

එමෙන්ම පීඩකයන්ගේ බලු තකතීරු ගොං වැඩවලට උරණ වී පීඩිතයන්ට පාර වැසීම, මහජන දේපළවලට හානි කිරීම ගොංපාට් එකකි. අරක්කු බීගෙන ආතල් එකට උද්ඝෝණ කිරීමට සැබෑ ජනතා අරගලයට ද්‍රෝහිවීමකි. ඒ ද්‍රෝහිවීම පානදුරේදී, නුවරදී, මාතර උද්ඝෝෂණ අතරතුරදී අපි දුටුවෙමු. එහෙයින් පීඩාවට පත්ව සිටින ජනතාව අරමුණක්, ඉලක්කයක් ඇතිව උද්ඝෝෂණ කළ යුතුය. එසේ නොවෙන්න රට පුරා මාර්ග අවහිර කරගෙන රැල්ලට උද්ඝෝෂණ කිරීම, මහජන දේපළවලට හානි කිරීම මෙතෙක් දිනක් සාමකාමීව රජයට දැනෙන්න කරගෙන ආ ගෝල්ෆේස් අරගලයත් අල කිරීමකි. ආණ්ඩුවේ අවශ්‍යතාව පීඩිත ජනතාව විසින්ම සපුරාදීමකි. එහෙයින් මේ මොහොතේ ජනතාව සිහියෙන් යුක්තව කටයුතු කළ යුතුය.

● තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment