අර්බුදය යළි පිපිරුණොත් සාමසාධක හමුදාව රටට බහීවි

993

හැටනව ලක්‍ෂයකින් පත්වුණු ජනාධිපතිව ගෙදර යවා ඡන්දෙන් පැරදුණු රනිල් ජනාධිපති වුණා

අන්තර්කාලීන තිත්ත බෙහෙත අපි ගෙනාවේ ජාත්‍යන්තර මැදිහත්වීම් වළක්වන්නයි

“තව මාස එකහමාරකින් දෙකකින් මේ අර්බුද නැවතත් පුපුරනවා, සමාජ ප්‍රතිරෝධය වර්ධනය වී බරපතළ ලේ වැගිරීමක් සිදුවී බටහිර බලා ඉන්න ලේ වැගිරීමක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් එන්න පොට පෑදෙන බවත්, එය නොවන්නේ නම් ඉන්දියානු මැදිහත්වීමකට පොට පෑදෙනවා” යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (21 වැනිදා) පෙරවරුවේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා,

“අවසානයේ අරගලකරුවනුත් අරගලයට විරුද්ධ අයත් පාර්ලිමේන්තුවේ අරගලයට බයේ රනිල් වික්‍රමසිංහ මහතාව තෝරපු අයත් නියම උත්තරයට වැඩෙන්න නොදී ඒක වළකළා මේ රට බිහිසුණු අනාගතයක් කරා රැගෙන යන මාවතට ගෙනැල්ලා තියෙනවා. ළඟ නවන තීරණ අපේ නෑ. දුර බලලා තමයි අපි තීරණ අරන් තියෙන්නේ. මේ ආර්ථික අර්බුදය තව උත්සන්න වෙනවා. එමගින් ඇති වන ප්‍රතිරෝධය කලින්ට වඩා දරුණුව නැවත පිටවෙන්න පුළුවන්. ඒ පිටවීමට ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රතිචාර දක්වපු ආකාරයට නෙවෙයි රනිල් වික්‍රමසිංහ ප්‍රතිචාර දක්වන්නේ. ඒ ප්‍රතිචාරත් එක්ක ජාත්‍යන්තරය බලාගෙන ඉන්න ලේ ගංගාව මේ රට තුළ නිර්මාණය වෙන්න පුළුවන්.

එහෙම වුණොත් එතැනින් එහා ශ්‍රී ලංකා රාජ්‍යයේ අවසාන කාලපරිච්ඡේදය ලියැවෙන්න පටන් ගන්නවා. එච්චරයි අපිට තියෙන බය. නැතුව මේ ඩලස් දින්නනම් හොඳයි අරය දින්නනම් හොඳයි කියන එකට වඩා අපි කියන්නේ මෙන්න මේ අවසාන ඉරණම ගැන. එතෙන්ට මේ රට වැටෙන එක ගැන අපට බයක් තියෙනවා වේදනාවක් තියෙනවා. ඒක වළක්ව ගන්න කළ යුතු හැමදේම සියලු දෙනා කළ යුතුව තිබෙනවා. එය වළක්වන්න තමයි අපි අන්තර්කාලීන පාලනය නමැති තිත්ත බෙහෙත යෝජනා කළේ. නමුත් ඒක ජයග්‍රහණය කරන්න අපිට බැරිවෙනවා.

මැයි 09 වැනිදා රෑ ගෙවල් ගිනිතියපු සෙට් එක අන්තිමට දැන් පොටපාදල දීල තියෙන්නේ කාටද? වික්‍රමසිංහට. වික්‍රමසිංහ මහත්තයා මන්ත්‍රීවරු 134 ක් තෝර ගත්තේ කොහොමද? එතුමා එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තුවේ එකම මන්ත්‍රී. මේක පොහොට්ටුවෙන් විතරක් නෙවෙයි, සජබෙත් ඇතුළු තවත් පක්‍ෂවලින් මේ 134 හැදිල තියෙන්නේ. පොදු වශයෙන් හේතුව ඔවුන් තුළ තියෙන අනාරක්‍ෂිත බව. ඒ අය හොයනවා මේ අනාරක්‍ෂිත බවෙන් ගැලවෙන්න පුළුවන් පරිප්පුව දෙන්න පුළුවන් ජනාධිපති කෙනෙක්ව.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා රටින් පිටවුණ වෙලාවේ සුනිල් හඳුන්නෙත්තිලා, ලාල්කාන්තලා පාර්ලිමේන්තුව වටකරන්න ආපු වෙලාවේ පාර්ලිමේන්තුවත් තවත් ජනාධිපති ලේකම් කාර්යාලයක්, අරලියගහ මන්දිරයක්, ජනාධිපති මන්දිරයක් බවට පත් කරන්න උත්සාහ කරපු වෙලාවේ ඒකට ඉඩ නොදී හදිසි නීතිය, ඇඳිරි නීතිය දාලා ආරක්‍ෂක අංශවලට නියෝග දුන්නෙ රනිල් වික්‍රමසිංහ. එහෙම රනිල් වික්‍රමසිංහ කෙනෙක් තමයි ඕන කියල හිතුවා. එහෙම කෙනෙක් ඕනෙයි කියලා හිතන්න මන්ත්‍රීවරයාගේ මනස නිර්මාණය කළේ අරගලය. දේශපාල න්‍යායක්, අනාගත දැක්මක් විචාරශිලී කියවීමක් මොනවත් නැතුව මේ කනේ කරාබු දාගත්ත රැවුල්කාරයෝ අර ලිබියාවේ මොක්කුද වගේ කට්ටිය හෙන වීරයෝ වෙලා, සුන්දර කතා කියලා සමාජ මාධ්‍යයේ දාලා නළු නිලියෝ මේ ගොල්ලෝ ඇවිල්ලා ඔක්කොම ෆෝම් කරලා අන්තිමට රනිල් ගෙනාවා. ඒක තමයි ඇත්ත කතාව. රනිල්ව ඕන වුණේ මන්ත්‍රීවරුන්ට මේ අනාරක්‍ෂිත බව හින්දයි.

මේ ආර්ථික අර්බුදය තමයි ඔය කියන අරගලයේ ප්‍රධාන සාධක. තෙල් ටික, පොහොර, ගෑස් නැතිකම කිරිපිටි හිඟකම මේක තමයි ඔය කියන මහජනයගේ මතුවුණ විරෝධය. ඒක අරගලයට ගොනු වුණා.

ඔබ කවුරුත් දන්නව අපි පසුගිය අප්‍රේල් මාසයෙ තමයි ජනාධිපති ගෝඨාභය රාජපෂ මහතාට යෝජනාවලියක් බාරදුන්නේ අන්තර්කාලීන සර්වපක්‍ෂික පාලනයක් පිහිටුවන්න, මේ රටේ ඇතිවි තිබෙන ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වී තිබෙන තත්ත්වයක් යටතේ මේ ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා සර්වපාක්‍ෂික එකගතා පාලනයක් පිහිටුවන්න. එමගින් පමණයි මේ අර්බුදයට මුහුණදෙන්න පුළුවන්. කෙසේ නමුත් පෙරේදා (20 වැනිදා) පාර්ලිමේන්තුවේ එකතරා ආකාරයක තත්ත්වයක් තිබුණා ඒ ජාතික එකඟතා අන්තර්කාලීන පාලනයක් පිහිටුවීම සඳහා. නමුත් අවාසනාවකට ඒ අවස්ථාව මඟහැරී ගියා. ඡන්දයෙන් පරාදවූ රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලයිස්තුවෙන් අවුරුදු එකහමාරකට පස්සේ පාර්ලිමේන්තුවට ආපු රනිල් වික්‍රමසිංහ මහතාට පුළුවන්කම ලැබුණා පොහොට්ටුවේ බලධාරීන්ගේ උපකාර සහ අනුදැනුම යටතේ පාර්ලිමේන්තුවේ පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්න.

ඡන්දයෙන් දිනපු හැටනව ලක්‍ෂයක් ජයග්‍රහණය කරපු ජනාධිපතිව ගෙදර යවලා ඡන්ද යෙන් පැරදිච්ච රනිල් වික්‍රමසිංහව ජනාධිපතිවීමක් හැටියටයි අපිට මේක පේනේනේ. ඡන්දෙන් දිනපු ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ගෙදර යැව්වේ අරගලයේ ප්‍රතිඵලයක් කියලා සමහරු කියනවා. ඒ අරගලයෙන් වෙලා තියෙන්නේ ඡන්දෙන් දිනපු ගෝඨාභය රාජපක්‍ෂ ගෙදර යවලා ඡන්දෙන් පැරදිච්ච රනිල් වික්‍රමසිංහව ගෝඨාභය රාජපක්‍ෂගේ පුටුවේ වාඩිකරලා.

ජූලි නවය අරගලයෙන් එතුමා වැඩබලන ජනාධිපති වුණා. ඊට පස්සේ දැන් කෙලින්ම ජනාධිපති වුණා. අවසානයේ මොකක්ද පේන්නේ. අන්තිමට වුණේ අරගලකරුවන් තමන්ගේ ජනාධිපති මන්දිරය වටලනකොට වෙඩි තියන්න නියෝග නොකරපු ජනාධිපති ගෙදර ගිහිල්ලා අරගලකරුවන්ට පරිප්පු කවන්න බලන්න ඉන්න කෙනෙක් මෙතන ජනාධිපතිවෙලා තියෙනවා.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment