අර්බුද මැද එල්. පී. එල්. තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් සැරසෙයි

245

ඔස්ටේ්‍රලියානු තරගාවලියෙන් පසු එල්.පී.එල්. ගැන තීරණය කරනවා – රවීන් වික්‍රමරත්න

ලංකා ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර පැවැත්වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී ඇති බවට ‘දිවයින’ට වාර්තා වේ. ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් තෙවැනි අදියර ලබන ජූලි මස අග සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

අර්බුද මැද එල්. පී. එල්. තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් සැරසෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියර පසුගිය 2020 නොවැම්බර් මසදී ක්‍රියාත්මක වූ අතර එහි දෙවැනි අදියර පසුගිය 2021 වසරේ දෙසැම්බර් මසදී ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව 2022 එල්. පී.එල්. තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතාගෙන් ‘දිවයින’ විමසන ලදුව ‘රටේ පවතින තත්ත්වයත් එක්ක හරියටම මේ දින වකවානුවල එල්.පී.එල්. තරගාවලිය පවත්වන්න පුළුවන් වෙයි කියලා කියන්න අමාරුයි. දැනට අපි ජූලි/අගෝස්තු වෙද්දී තරගාවලිය පවත්වන්න අදහස් කරන් ඉන්නවා. ඉදිරියේදී ඔස්ටේ්‍රලියානු තරගාවලියත් තියෙන නිසා ඒ තරගාවලියෙන් පස්සේ තමයි හරියටම අපිට එල්.පී.එල්. එක ගැන තීරණය කරන්න වෙන්නේ’ යැයි ඒ මහතා කියා සිටියේය.

මෙවර තරගාවලියේ කණ්ඩායම් ගණන බොහෝ දුරට පෙර පරිදිම කණ්ඩායම් 5ක් පමණක් වන බවත් රටේ පවතින තත්ත්වය අනුව එවැනි තරගාවලියක් සංවිධානය කිරීම තුළින් රටේ ඩොලර් අර්බුදයට සහනයක් වන බවත් රවීන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මීට අමතරව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ හම්බොන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට අමතරව තවත් ක්‍රීඩාංගණ දෙකකටවත් මෙවර තරගාවලිය ගෙන යා යුතු යැයි ඒ මහතා සඳහන් කර සිටියේය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment