අරාජිකත්වයත් ප්‍රචණ්ඩත්වයත් මානව හිමිකම්වලට අයිති නෑ මේ සෙල්ලම නතර කළ යුතුයි

183

පැවිද්දන් අරගලවලට දාගෙන රට කලබල කරන්න දෙන්නෑ
කිසිම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් අත්අඩංගුවේ නෑ
සිවුරු ඇඳගත් බට්ටන් දාලා මහ නාහිමිවරුන්ට තර්ජනය කරන්න දෙන්න බෑ
මුදලිගේ වසර 9ක් තිස්සේ කැම්පස් එකේ මේක හරිවැඩක් නේ –
ජනාධිපති පාර්ලිමේන්තුවේදී කියයි

පැවිදි පුද්ගලයන් අරගලවලට යොදවා රටේ කලබල ඇති කිරීමට ඉඩදීමට නොහැකි යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) ප්‍රකාශ කළේය.

අරාජිකත්වයත්, ප්‍රචණ්ඩත්වයත් මානව හිමිකම්වලට අයත් නොවෙන බවද කී ජනාධිපතිවරයා මේ වනවිට කිසිදු විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු අත්අඩංගුවේ පසු නොවන බවද කියා සිටියේය.

ඊට අමතරව මානව හිමිකම් යැයි කියමින් ප්‍රචණ්ඩකාරීන් ආරක්‍ෂා කළ නොහැකි බව කී ඒ මහතා රාජ්‍ය ආරක්‍ෂාව වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සීමා පනවා තිබෙන බවද කීය.

මහානායක හිමිවරුන්ට ද සිවුරු ඇඳ ගත්තු බට්ටෝ දාලා තර්ජනය කිරීමට ඉඩදිය නොහැකි බවත් කිසිවකු හෝ එසේ කරන්නේ නම් තමන්ට නිකම් බලා සිටිය නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.

පැවිදි පුද්ගලයන් අරගලවලට දැමීමේ සෙල්ලම දැන්වත් නතර කළ යුතු යැයිද පැවිදි අය පැවිද්දේ කටයුතු කළ යුතු යැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.

ගිහි අය අරගලය කිරීමේ ප්‍රශ්නයක් තමන්ට නැති බවත් ඊයේ කාරක සභා අවස්ථාවේ විවාදයට සම්බන්ධ වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment