අරික්කාලක්වත් ගන්න අවසර නෑ!… ඒත් ටොන් ගණනින් අරුවක්කාලුවේ ඉල්මනයිට් පිටරටට පැටවෙයි?

756

අරුවක්කාලු වැලි නිධිය පුත්තලමේ සිට මුලතිව් දක්වා තියෙනවා…
– මහාචාර්ය අතුල සේනාරත්න

අරුවක්කාලුවේ ඉල්මනයිට් කැණීම් කරන්න තවම කිසිදු සමාගමකට අවසර ලබා දීලා නෑ…
– ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ජගත් ධර්මප්‍රිය

මගේ සභාපතිකම නැති වුණෙත් ඔය ගනුදෙනුවට විරුද්ධ වෙච්ච නිසා…
– ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ ගාමිණි ඒකනායක

අපේ ප්‍රකාශ මාධ්‍යවල පළ කරන්නෙ විකෘති කරලා…
– ඉලුකා රිසෝසස් ලිමිටඩ් ආයතනයේ ලංකා නියෝජිත ක්‍රිෂාන්ත ද සිල්වා

මෑතක සිට පුත්තලමේ අරුවක්කාලුව ගැන නිතර කතාබහට ලක් වේ. ඒ එම ප්‍රදේශයේ පීඩිත ජනතාවගේ ජීවන ගැටලු ගැන නොවේ. රටට සම්පතක් වූ අරුවක්කාලුවේ පිහිටි ඉල්මනයිට් ඛනිජ සම්පත ඔස්ට්‍රේලියානු සමාගමකට විකිණීමට යන ගනුදෙනුවක් ගැනය. ඒ කතාව පෙළගැසෙනුයේ මෙසේය.

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් අක්කර 5352 ක ඉඩමක් පුත්තලම, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරුවක්කාලු ප්‍රදේශයේ තිබේ. එම ඉඩම පුරාවට හුණුගල් නිධියක් ද තිබේ. සිමෙන්ති නිෂ්පාදනයේදී ප්‍රධාන අමුද්‍රව්‍යය ලෙස ගනුයේ එම හුණුගල්ය. එමෙන්ම එම හුණුගල් තට්ටුවට ඉහළින් රතු වැලි තට්ටුවක් තැන්පත්ව තිබේ. එම වැලි තට්ටුව අද ඊයේ තැන්පත් වූවක් නොව, වසර දහස් ගණනකට ඈත ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට තැන්පත්ව ඇති වැලි නිධියක් බව වාර්තා වේ. මෑතක කතාබහට තුඩු දී ඇති ඉල්මනයිට් ඛනිජ සම්පත ඇත්තේ ද එම වැලි නිධිය තුළය. ලොව වටිනාම ඛනිජයක් වන ඉල්මනයිට් සහිත අරුවක්කාලුවෙහි වැලි නිධිය සහ ඊට යටින් ඇති හුණුගල් ස්ථරය ගැන ඉතිහාසයේ ප්‍රථම වතාවට අධ්‍යයනය කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති, භූ ගර්භ විද්‍යාව පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාය. එහෙයින් ඉල්මනයිට් ගනුදෙනුවට පෙර අරුවක්කාලුවෙහි වැලි නිධියේ ඉතිහාස කතාව ගැන මහාචාර්ය අතුල සේනාරත්න මහතාගෙන් අපි විමසා සිටියෙමු. ඔහු හරි අපූරුවට ඒ කතාව අපට විස්තර කළේය.

“ලෝක බැංකු ව්‍යාපෘතියක් යටතේ අරුවක්කාලුවේ ගවේෂණ කටයුතු ආරම්භ කළේ 1992 වර්ෂයේදී. ඒ වෙනකොට අරුවක්කාලුව සහ පුත්තලම සිමෙන්ති සංස්ථාව තිබුණේ ‘තවක්කාල්’ කියන පාකිස්තාන කොම්පැණියට. එම ආයතනයට කර්මාන්තය කරගෙන යෑමට නොහැකි වාතාවරණයකදී ලෝක බැංකු ව්‍යාපෘතියක් යටතේ ස්විස්ටර්ලන්ත හොල්ඩර් බෑන්ක් මැනේජ්මන්ට් කොම්පැණිය පුත්තලම සිමෙන්ති සංස්ථාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළා. මට පැවරුණු රාජකාරිය වුණේ සිමෙන්ති නිෂ්පාදනයට ලබාගන්න ප්‍රධාන අමුද්‍රව්‍යයක් වෙච්ච හුණුගල් අරුවක්කාලුවේ තව කොච්චර තිබේද යන්න සොයාබැලීම. අලුත්ම ක්‍රමවේදයක් යටතේ අධ්‍යයන කටයුතු කරගෙන යමින් කොපමණ හුණුගල් තිබේද? කැණීම් කළ යුත්තේ කෙසේද? යන්න ගැන අධ්‍යයන වාර්තාවක් සකස් කළා. මගේ අධ්‍යයන වාර්තාවට අනුව අවුරුදු සියයකට කර්මාන්තය කරගෙන යෑමට අවශ්‍ය හුණුගල් අරුවක්කාලුව ප්‍රදේශයේ තියෙනවා…”

“එම හුණුගල් ස්ථරය මත මීටර් දහයේ සිට මීටර් තිහක් විතර ඝනකම වැලි තට්ටුවක් තියෙනවා. අවුරුදු ලක්‍ෂ ගාණක් තිස්සේ සිට මුහුදු වෙරළේ තැන්පත් වෙච්ච වැලි කඳු පසු කාලීනව රතු වැල්ල බවට පත්වී හුණුගල් ස්ථරය මත තැන්පත් වෙලා තියෙන බවත් අධ්‍යයන කටයුතුවලදී සනාථ වුණා. එම රතු වැල්ල සමහර ස්ථානවල ඝනකමෙන් අඩුයි. තවත් තැනක අඩි සියයක් පමණ යට ට ඝනකමයි. ඒ වගේම පුත්තලමේ සිට මුලතිව් දක්වා කිලෝ මීටර් ගාණක් දුරට විහිදෙන විශාල වැලි නිධියක්. මේ වැලි නිධියේ තමයි ඉල්මනයිට් ඛනිජය තැන්පත් වෙලා තියෙන්නෙ. සම්පූර්ණ වැලි නිධිය පුරාවට එකම විදිහට ඉල්මනයිට් ඛනිජය නෑ. නිධියේ තැනින්, තැන ඉල්මනයිට් තියෙන ප්‍රමාණය අඩු, වැඩි වෙනවා. පුත්තලම් ප්‍රදේශයට සාපේක්‍ෂව මුලතිව් ප්‍රදේශයේදී ඉල්මනයිට් ප්‍රමාණය අඩුයි. ඒ නිසා පුත්තලම ප්‍රදේශයේ වැලි නිධියට අති විශාල වටිනාකමක් තියෙනවා. වැලි තට්ටුවේ ඝනකම අඩුම ස්ථානවලින් හුණුගල් කැණීම් සිදු කරන ලෙසට අධ්‍යයන වාර්තාවෙන් මම නිර්දේශ කළෙත් එම වැලි නිධියේ වටිනාකම ගැන හොඳින් දැන සිටින නිසයි. මේක ඩොලර් බිලියන ගාණක් වටිනා වැලි නිධියක්. මෙවැනිම වැලි නිධියක් ඉන්දියාවේ තමිල්නාඩුවෙත් තියෙනවා. අදටත් ඒ වැලි නිධිය කැණීම් කරමින් එහි තිබෙන බැර ලෝහ වෙන් කිරීමේ විශාල කර්මාන්තයක් තමිල්නාඩුවේ කරගෙන යනවා. අපේ රටේ කරන්නෙ හුණුගල් කැණිම් කිරීමෙන් ඇති වන විශාල වළවල් වැසීමට රතු වැල්ල පාවිච්චි කිරීමයි. ඒක රටට කරන මහ විශාල අපරාධයක්. අරුවක්කාලුවේ ඉල්මනයිට් නිධිය පමණක් නෙමෙයි මේ රටේ පොළව යට තියෙන සියලුම ඛනිජ සම්පත් රටේ ආර්ථිකයට ශක්තියක් වන ආකාරයට ප්‍රයෝජනයට ගන්න ඕනෑ…” අරුවක්කාලුවේ වැලි නිධිය පමණක් නොව රට පුරා විසිරී තිබෙන ඉල්මනයිට් නිධි ගැන මහාචාර්යවරයා අපව දැනුවත් කළේය. එමෙන්ම එම ඛනිජ සම්පත රටට සම්පතක් කර ගන්නා ආකාරය ගැන ද ඔහු අපට විස්තර කළේය. ඒක වෙනත් කතාවකි. දැන් අපි අරුවක්කාලුවේ රතු වැල්ල ගිනියම් කරන ඉල්මනයිට් ගනුදෙනුව ගැන සොයා බලමු. ඒ සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ ගාමිණි ඒකනායක මහතාට අප කතා කළෙමු. මේ ඔහු කියන කතාවය.

“ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ධුරයට මම පත් වුණේ 2020 අවුරුද්දෙ ජනවාරි මාසයේදී. ඊට ටික කාලයකට පස්සෙ තමයි සිමෙන්ති සංස්ථාවට අයත් අරුවක්කාලු ඉඩමේ ඉල්මනයිට් නිධියක් තියෙන බව දැනගත්තේ. ඒ අවස්ථාවේදී ලංකා මිනරල් සමාගම සමඟ එකතුව ඉල්මනයිට් කැණීම් කොට රජයට පූර්ණ ලාභයක් ලබාදෙන්න අපි තීන්දු කරගත්තා. ඒත් 2013 වර්ෂයේදී, ඔස්ට්‍රේලියානු ඉලුකා රිසෝසස් ලිමිටඩ් ආයතනය විසින් අරුවක්කාලුවේ ඉල්මනයිට් කැණීම් සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් ගවේෂණ බලපත්‍රයක් ලබාගෙන තිබුණා. එම වාර්තාවේ වලංගු කාලය වෙලා තිබුණේ 2019.12.31 වැනිදා. ඊට පසුව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සහ ලංකා මිනරල් සමාගම එකතුව ඉල්මනයිට් කැණීම් කටයුතු ආරම්භ කරන්න සූදානම් වුණා. ඒත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් අපිට ගවේෂණ බලපත්‍රයක් ලබා දුන්නෙ නෑ. එම කාර්යාංශය අපිට කියා හිටියේ අරුවක්කාලුවේ ඉල්මනයිට් කැණීම් කටයුතු ඉලුකා රිසෝසස් ලිමිටඩ් ආයතනයට ලබාදෙන්න කියලා. අවසානයේ අපේ ව්‍යාපෘතිය නතර වුණා…”

අරික්කාලක්වත් ගන්න අවසර නෑ!… ඒත් ටොන් ගණනින් අරුවක්කාලුවේ ඉල්මනයිට් පිටරටට පැටවෙයි?

“අරුවක්කාලුවේ ඉල්මනයිට් කැණීම කටයුතු ඉලුකා සමාගමට ලබාදෙනවා නම්, ඉඩමේ අයිතිකාරයො විදිහට ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට වැඩි වාසියක් අත්වන විදිහට ගිවිසුම්ගත වෙන්න අපි තීන්දු කළා. ඒත් රාජ්‍ය භාගය වන 7% හැර කිසිදු මුදලක් ගෙවීමට එම සමාගම එකඟ වුණේ නෑ. ඒක රටට විශාල අලාභයක්. ඒ නිසා කිසිදු හේතුවක් මත ඉලුකා සමාගමට අරුවක්කාලුව ඉඩමට ඇතුල්වීමට අවසර නොදෙන බවට ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් තීන්දුවක් ගත්තා. රටේ නීතියට අනුව විදේශීය සමාගමකට මෙරට ඛනිජ සම්පත් කැණීමට අවසර නැති නිසා ඉලුකා සමාගම ආයෝජන මණ්ඩලය හරහා ‘පුත්තලම් ඉල්මනයිට් සමාගම’ නමින් ආයතනයක් ආරම්භ කළා. එම සමාගමේ කොටස්වලින් 79% ක අයිතිය තියෙන්නෙ ඔස්ට්‍රේලියානු ඉලුකා සමාගමට. ඉතිරි කොටස්වල අයිතිය දේශීය සමාගම් තුනකට බෙදී යනවා. ඒත් විනිමය පාලන පනතට අනුව, විදේශීය සමාගමකට 79% ක් වැනි වැඩි කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන්න බෑ. විදේශීය සමාගමකට උපරිම හිමිකම් කියන්න පුළුවන් 40% ක කොටස් ප්‍රමාණයකට විතරයි. ඒත් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන සමාගම්වල, විදේශීය කොටස්කවරුවන්ට ලබාදෙන කොටස් ප්‍රමාණය වැඩිකර දෙන්න අවසර තියෙනවා. ඛනිජ සම්පත් වෙනුවෙන් එහෙම කරන්න පුළුවන් වෙන්නෙ අමුද්‍රව්‍යවලට අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් වීම තුළ පමණි. අරුවක්කාලු ඉල්මනයිට් කැණීමේ ව්‍යාපෘතියේදී අගය එකතු කිරීමක් කරන බවට ඉලුකා සමාගම ප්‍රකාශ කරලා නෑ. ඒ වගේම මේ වන විටත් අරුවක්කාලු ඉඩම වසර පනහකට තායිලන්ත සියෑම් සිටි සමාගමට බදු දීලා තියෙන්නෙ. 1993 වර්ෂයේදී අත්සන් තැබූ බදු ගිවිසුම අවසාන වෙන්නෙ 2043 වර්ෂයේදී. එවැනි බදු ගිවිසුමක් තිබියදී තමයි මේ ආණ්ඩුව බලහත්කාරයෙන් ඔස්ට්‍රේලියානු කොම්පැණියකට අරුවක්කාලු ඉඩම දෙන්න යන්නෙ…”

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතාගේ කතාව ද පැහැදිලිය. එහෙත් දැන් ඔහු ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථවේ සභාපති නොවේ. ඔහුගේ සභාපතිකම නැතිවීමට අරුවක්කාලුවේ ඉල්මනයිට් ගනුදෙනුව විශාල බලපෑමක් වූ බව ද හේ අපට පැවැසීය. පෙළගැසෙන ඉල්මනයිට් ගනුදෙනුව සම්බන්ධයෙන් ද තව බොහෝ කරුණු ඔහු ඉදිරිපත් කළේය. එහෙත් අරුවක්කාලු ඉල්මනයිට් ගනුදෙනුවේ වර්තමාන තත්ත්වය විමසා බැලිය යුත්තේ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වර්තමාන සභාපතිවරයාගෙනි. එහෙයින් එම සංස්ථාවේ වර්තමාන සභාපති ජගත් ධර්මප්‍රිය මහතාට ද අපි කතා කළෙමු. මේ පෙළගැසෙනුයේ අරුවක්කාලුහි ඉල්මනයිට් නිධියේ අලුත්ම තත්ත්වයයි.

“ඉල්මනයිට් කැණීම් කටයුතු කරගෙන යෑමට තවම කිසිදු සමාගමකට අවසර ලබා දීලා නෑ. රටේ නීතියට අනුව විදේශීය සමාගමක් වන ඉලුකා සමාගමට කොහෙත්ම කැණීම් කටයුතු කරගෙන යෑමට අවසර දෙන්නත් බෑ. අපේ හිතුමතේට රාජ්‍ය දේපළක් බදු දෙන්නත් බෑ. ඒකට පිළිගත් ක්‍රමවේදයන් තියෙනවා. ඒ නිසා මේ වෙනකොට අරුවක්කාලුවේ ඉල්මනයිට් නිධියේ කැණීම් සිද්ධ වෙන්නෙ නෑ. ඒ වගේම මේ වන තෙක් අරුවක්කාලුහි ඉල්මනයිට් නිධියේ වටිනාකම පිළිබඳ කිසිදු තක්සේරුවක් කරලා නෑ. දැන් මම ඒ පිළිබඳ ගවේෂණයක් කරගෙන යනවා. තව නොබෝ කාලයකින් අරුවක්කාලු ඉල්මනයිට් නිධියේ සැබෑ වටිනාකම තක්සේරු කරගන්න පුළුවන් වෙනවා. ඊට පසුව එම නිධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට මම අදහස් කරගෙන ඉන්නවා. ඒ අනුව රටේ ආර්ථිකයට වාසියක් වන ආකාරයට දේශීය හෝ දේශීය සමාගමක් සමඟ එකාබද්ධ වූ විදේශීය සමාගමකට කැණීම් කටයුතු කරගෙන යෑමට අවසර ලබාදීමට අපි කටයුතු කරනවා…” ඒ කතාව හරිම අගනේය. වටිනාකම නොදෙන වෙළෙඳාම් කොට ලාභ ලැබිය නොහැකිය. තව නොබෝ කාලයකින් අරුවක්කාලුවේ ඉල්මනයිට් නිධියට නිසි වටිනාකමක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරමු. එමෙන්ම පෙළගැසෙන කතාවේ චෝදනාව ගොනු වනුයේ ඉලුකා රිසෝසස් ලිමිටඩ් ආයතනයටය. එහෙයින් එම ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිෂාන්ත ද සිල්වා මහතාට අපි කතා කළෙමු. මේ ඔහු කියන කතාවය.

“අපි කියන දේවල් මාධ්‍යයේ පළ කරන්නෙ විකෘති කරලා. ඒ නිසා ආයතනයෙන් මට දැනුම් දීලා තියෙන්නෙ ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට තොරතුරු ලබාදෙන්න එපා කියලා. දැනට අපි ව්‍යාපෘතිය කරගෙන යනවා…” ක්‍රිෂාන්ත මහතා කියන ආකාරයට ඔවුන් ලබාදෙන තොරතුරු මාධ්‍යයෙන් විකෘති කර පළ කරනවා නම් එය වරදකි. පෙළගැසෙන ගනුදෙනුව සම්බන්ධයෙන් ඔවුන් පවසන තොරතුරු නිවැරැදිව වාර්තා කිරීම මාධ්‍යයේ වගකීමකි.

එමෙන්ම අරුවක්කාලුහි ඇත්තේ ද පුල්මුඩේ ප්‍රදේශයෙන් හමුවන ඉල්මනයිට් ඛනිජමය. එහෙත් අරුවක්කාලුහි ඉල්මනයිට් නිධිය කැණීම් කිරීමත් සමඟ අවසාන වේ. පුල්මුඩේ ඉල්මනයිට් නිධිය අවසන් නොවේ. එම නිධිය කාලයෙන්, කාලයට පුනර්ජනනය වේ. එමෙන්ම එම ඉල්මනයිට් නිධි දෙක හැරුණු කොට මෙරට විවිධ ප්‍රදේශවලින් තවත් ඉල්මනයිට් නිධි හඳුනාගෙන තිබේ. මෙරටින් හඳුනාගත් වටිනාම සහ බහුලම ඉල්මනයිට් නිධි පිහිටා ඇත්තේ උතුර,

අරික්කාලක්වත් ගන්න අවසර නෑ!… ඒත් ටොන් ගණනින් අරුවක්කාලුවේ ඉල්මනයිට් පිටරටට පැටවෙයි?

නැගෙනහිර යාපනයේ සිට තිරුක්කෝවිල් දක්වා කලාපය තුළය. තලෙයිමන්නාරම ප්‍රදේශයේ මෙන්ම කොළඹ ප්‍රදේශය දක්වා මීගමුව වෙරළ තීරය දිගට ද වැලි නිධිවල ඉල්මනයිට් ඛනිජය තිබේ. දකුණු පළාතේ මුහුදු තීරයේ පමණක් නොව උඩවලව, පානම, කුමන ප්‍රදේශවල වැලි කඳු අතරෙත් ඉල්මනයිට් ඛනිජය අඩු, වැඩි වශයෙන් තැන්පත්ව තිබේ. මෙරට සියලු නිධිවල තිබෙන සෑම ඉල්මනයිට් ඇටයක්ම ගසාගෙන යනුයේ රට මැද කඳුකරයෙනි. මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වී පහළට ගලා බසිනා ගංගා ද්‍රෝණිවලින් බහුලව ඉල්මනයිට් සේදී එන්නෙ යාං ඔයෙනි. ඉල්මනයිට් පමණක් නොව, මෙරට වැලි නිධිවල තවත් ඛනිජ සම්පත් බොහෝය. එමෙන්ම මෙරට ඉල්මනයිට් ඛනිජයට ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින බව ද සැබෑය.

ඉල්මනයිට් යනු ටයිටේනියම් ඔක්සයිඩ් සහ අයන් ඔක්සයිඩ්වලින් සමන්විත ඛනිජයකි. මේ ඛනිජය බහුලව භාවිතයට ගනුයේ වර්ණක නිෂ්පාදනය සඳහාය. මෙරට ඉල්මනයිට්වලින් අපේ රටට ආනයනය කරනු ලබන වර්ණක පහසුවෙන් නිෂ්පාදනය කරගත හැකි බව ද විද්වතුන්ගේ අදහසය. මෙරට වර්ණක නිෂ්පාදනය කරගැනීමෙන් පිටරටවලට ඇදී යන විශාල විදේශ විනිමයක් ඉතිරි කරගැනීමට හැකි බව විද්වත් මතයකි. එමෙන්ම ලෝකයේ ඇතැම් රටවල් ඉල්මනයිට්වල අඩංගු ඔක්සිජන් ඉවත්කොට ටයිටේනියම් නිෂ්පාදනය කරන බව ද සැබෑය. ටයිටේනියම් ලෝහය භාවිත කරමින් ගුවන් යානාවල උපාංග ආදී සැහැල්ලු ලෝහමය උපකරණ නිෂ්පාදනය කෙරේ. වෝල්වෝ මෝටර් රථයේ අල්ට්‍රා ලයිට් එන්ජිම නිෂ්පාදනය කර ඇත්තේ ද ටයිටේනියම්වලින් බව වාර්තා වේ. එමෙන්ම ටයිටේනියම් යනු අධික තාපයට ඔරොත්තු දෙන ලොව වටිනාම ලෝහයකි. එහෙයින් ලොවට වටින, මෙරටට නොවටිනා ඉල්මනයිට් ඛනිජ සම්පත ආරක්‍ෂා කරගැනීම මෙරට සෑම පුරවැසියකුගේම යුතුකමකි.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථවේ 28 (ඊ) වගන්තිය අනුව ස්වාභාවික සම්පත් ආරක්‍ෂා කරගැනීම රටේ සෑම පුරවැසියකුගේම යුතුකමකි. එහෙත් මතු පරපුරට ද ඉතිරි කරමින් අපට උරුම ස්වාභාවික සම්පත් රටේ ආර්ථිකයට ශක්තියක් කරගැනීමේ වරදක් අපි නොදකිමු. යුද්දෙට නැති කඩුව කොස් කොටන්න තබාගෙන ඵලක් නැත. එහෙයින් පවතින ආර්ථික අර්බුදය තුළ රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගනිමින් රට ශක්තිමත් කළ යුතු බව අපගේ අදහසය. දේශීය හෝ විදේශීය සමාගමක් වේවා රටේ ආර්ථිකයට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයට ඛනිජ සම්පත් කැණීම් කරගෙන යෑමට සහ අපනයනයට අවසර ලබාදිය යුතුය. එමෙන්ම මෙරට පවතින විදුලි අර්බුද, සම්පත් හිඟතාවය මත ඛනිජ අමුද්‍රව්‍යවලට අගය එකතු කිරීම පහසු කටයුත්තක් නොවේ. නිසි කළමනාකරණයකින් යුක්තව අගය එකතු කිරීමේ කටයුත්ත නොවීම තුළ සිදු වන්නේ අගය බාල කිරීමකි. ඒ කෙසේ වෙතත් ‘දේශපාලන සහ නිලධාරී කපුටන්ට’ රටේ සම්පත් ‘කුණු මස් කෑල්ලක්’ බවට පත් කරගැනීමට ඉඩ නොතැබීමට මෙරට සියලු පුරවැසියන් වගකීම කරගත යුතුය. එමෙන්ම ලොව වටිනා ඛනිජයක් වන ඉල්මනයිට් වැල්ල අරුවක්කාලුවේ හුණුගල් කැණීමෙන් ඉතුරුවන වළවල් වැසීමට පාවිච්චි කිරීම ජාතික අපරාධයක් බව ද විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment