අරින්න ඕන තැන් වහන – වහන්න ඕන තැන් අරින කට්ටිය නිසා වැහෙන්න ගිය ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා යන්නමින් බේරෙයි

241

වහන්න ගිය තීරණය අකුළා ගනී

රජරට,රුහුණ, කඳුරටත් ඒ අතර…

හරි සැලසුමක් සාදා ගොඩ ගත යුතුයි…

මේ රටේ ‘ අහෝසි ‘ කළ යුතු දෑ බොහෝය. ඒ අතර ඉක්මනින්ම අහෝසි කළයුතු හෝ ඉවත් කළයුතු පිළිල තිබේ. ඒ රටේ දියුණුවටත්, සංවර්ධනයටත් වඩා ‘ පරම්පරා‘ ගණනකට ‘ හරි හම්බ ‘ කරගැනීමේ මානසිකත්වයකින් කටයුතු කරන දේශපාලුවන්, උන්ගේ අම්බැට්ටයින්, සහ නිලධාරින්ය. රටේ සම්පත් විකිණීමත් ,ගොඩ ගතයුතු ,ගොඩ දැමිය හැකි බොහෝ සම්පත් අහෝසි කිරීමත් මේ අයගේ සිරිතය. ඒ නිසා ම රට හැමදාමත් එක තැනය. මෙවැනි පූර්විකාවක් ලියන්න සිත වූයේ පසුගිය මැයි 31 වැනි දා සිට ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා තහනමද මීට සමාන පසුබිමක ගොඩ නැඟුණු කතාවක් නිසාය. ගුවන්විදුලි මාධ්‍ය බිහිවී අද වනවිට වසර ගණනක් ඉක්මවා ගොසිනි. මිනිසා හා ජනමාධ්‍ය අතර වඩාත් සමීප බවක් ඇතිවූයේ ශබ්ද මාධ්‍ය හෙවත් ගුවන්විදුලිය බිහිවී, එය ප්‍රචලිත වීමත් සමගය. ගුවන්විදුලිය හැඳින්වීම සඳහා වර්තමානයේ රේඩියෝ යන්න භාවිත කළ ද මුල් යුගයේ පැරැන්නන් එය හැඳින්වූයේ වයර්ලස් යන නමිනි. වයර්ලස් නැතිනම් රේඩියෝව බිහිවීම ලොව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති වීමට හේතු වූවා යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.

ලෝකයේ ගුවන්විදුලි සන්නිවේදනය ආරම්භ වී කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ද ගුවන්විදුලි විකාශය ආරම්භ විය. ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි විකාශනාගාරය වූ කොළඹ ගුවන්විදුලිය 1925 දෙසැම්බර් 16 වැනි දින ආරම්භ විණි. ඊට පුරෝගාමීව කටයුතු සිදු කළේ බි්‍රතාන්‍ය සිවිල් ඉංජිනේරුවරයෙකු වූ එඩ්වඩ් හාපර් මහතා විසිනි. ඉන් පසු දිවයින පුරා විකාශනයක් ලෙස පුළුල් විය. 1949 දී එයට ලංකා ගුවන්විදුලිය නැතිනම් රේඩියෝ සිලෝන් යන විකාශන නාමය හිමි වූ අතර එය වෙනම රජයේ දෙපාර්තමේන්තුවක් වශයෙන් සංවිධානය වීම සිදුවිය. පසුව වර්ෂ 1967 දී මෙම විකාශන දෙපාර්තමේන්තුව රාජ්‍ය සංස්ථාවක් බවට පත්විය. 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වීමත් සමග, ලංකා ගුවන්විදුලි සංස්ථාව ද සිය නාමය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව (SLBC) බවට වෙනස් කිරීමත් සිදු විය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ ජාතික ගුවන්විදුලි විකාශනයන් 7ක්, ප්‍රාදේශීය ගුවන්විදුලි විකාශනයන් 6ක් සහ ප්‍රජා ගුවන්විදුලි විකාශනයන් 4ක් පවත්වාගෙන යනු ලබයි.

මහජනයා ඉලක්ක කරගත් ගුවන්විදුලි සේවා හා වෙළෙඳ පොළ ඉලක්ක කරගත් ගුවන්විදුලි සේවාවන් හැරුණුකොට බහුලව භාවිත කරන ගුවන්විදුලි සේවාවන් අතරින් ප්‍රජා ගුවන්විදුලි සේවයට හා ප්‍රාදේශීය ගුවන්විදුලි සේවයට සමාජයේ ඉහළ තැනක් හිමි වේ. නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක ජීවත්වන ජනතාවක් විසින් එම ප්‍රදේශයට පමණක් ආවේණික ගුවන් විදුලි සේවාවක් ආරම්භ කර, එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට උනන්දුවක් දක්වන ප්‍රජාව ඉලක්ක කරගෙන පමණක් මෙම ගුවන්විදුලි සේවාවන් මූලික වශයෙන් ක්‍රියාත්මක වේ. මෙම ගුවන්විදුලි සේවා ආකෘතියේ අන්තර්ගතය මුළුමනින්ම ශ්‍රාවකයින්ගේ අවශ්‍යතා අනුව සකසා ඇත. එහිදී ප්‍රජා ගුවන්විදුලිය හා ප්‍රාදේශීය ගුවන්විදුලිය ක්‍රියාත්මක කරන්නන් හා පවත්වාගෙන යන්නන් එම ප්‍රදේශයෙන් ම තෝරාගත් ජනතාව වීම මෙහි දැකිය හැකි තවත් එක් සුවිශේෂීත්වයකි. ප්‍රජාව විසින් ප්‍රජාව උදෙසා ඉටු කරන සේවය වෙනුවෙන් ඔවුන් කිසිදු මුදලක් බලාපොරොත්තු නොවන අතර ඔවුන්ගේ එකම අපේක්ෂාව වන්නේ ඔවුන්ගේ කථා, අත්දැකීම් , නිර්මාණශිලී හැකියා , කථන හැකියාව හා විවිධ ගැටලු තමන් විසින් ම පවත්වාගෙන යන ගුවන්විදුලි සේවාව ඔස්සේ විකාශනය කිරීමෙන් එය අන් අයට දැන ගැනීමට සැලැස්වීමෙන් උක්ත ගැටලු සඳහා සාමූහික විසඳුම් ජනනය කිරීමයි. ඒ අනුව 1979 අප්‍රේල් මස 12 වැනි දා ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රාදේශීය ගුවන් විදුලිය බවට ඉතිහාසයට එක්වෙමින් “රජරට සේවය” ඇරඹිණි. ඉන් පසුව රුහුණු සේවය , කඳුරට සේවය, වයඹ සේවය , හපුතලේ ප්‍රදේශය ආවරණ කරමින් පිරෙයි ගුවන් විදුලි සේවය සහ යාල් FM‍ සේවය ආරම්භ විණි.

බොහෝ දෙනාගේ ප්‍රසාදයට හා තරුණ තරුණියන්ට තම දක්ෂතා පෙන්වීමට හොඳම මාර්ගයක් වූ ප්‍රදේශීය ගුවන්විදුලි සේවාවන් “පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ පසුගිය 31 වැනිදායින් පසු ගුවන්විදුලි සංස්ථාවේ දැඩි ලෙස පාඩු ලබන සියලු ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා අදාළ සංඛ්‍යාත ඔස්සේ ජාතික ගුවන් විදුලි නාලිකා සමග ඒකාබද්ධව පවත්වා ගෙනයෑමට එම සංස්ථාව තීරණයකර තිබිණි.

  1. රජරට සේවය (කරගහතැන්න 107.3 MHz/90.1 MHz අනුරාධපුර)
  2. රුහුණු සේවය (දෙණියාය 107.3 MHz/හපුතලේ 107.5 MHz)
  3. කඳුරට සේවය (හන්තාන 90.1 MHz/

හුන්නස්ගිරිය 107.5 MHz/රඳැල්ල 107.5 MHz/

හපුතලේ 107.3 MHz)

  1. Yaal FM (90.1/102.1 MHz යාපනය)
  2. Pireyi FM (102.1 MHz හපුතලේ)
  3. වයඹ රේඩියෝ (90.1 MHz යටියන්තොට)
  4. දඹාන රේඩියෝ (95.4 MHz දඹාන)

යන සියලුම ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා පසුගිය 31 වැනිදා සිට අදාළ සංඛ්‍යාත ඔස්සේ ජාතික ගුවන්විදුලි නාලිකා සමග ඒකාබද්ධ කරන ලෙස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම සංස්ථාවේ අධ්‍යක්ෂ (ප්‍රාදේශීය සේවා/සංවර්ධන ) සහ සියලු ගුවන්විදුලි ප්‍රාදේශීය සේවා සහකාර අධ්‍යක්ෂවරුන් සහ පාලකවරුන්වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබිණි .මේ අනුව ගුවන්විදුලි සංස්ථාවේ සියලු ප්‍රාදේශීය සේවා එදිනෙන් අවසන් වීමට නියමිතව තිබිණි. මේ අතර රුහුණ, රජරට සහ කඳුරට යන ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා සිංහල ස්වදේශීය සේවය සමගත් යාපනය ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය සහ එෆ් එම් සේවය දෙමළ ස්වදේශීය සේවය සමග ඒකාබද්ධව කරන ලෙසට ද එම චක්‍රලේඛය මගින් දැනුම් දී තිබිණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පසුගිය 25 වැනිදා පාර්ලිමේන්තුවේ දී මේ කාරණය ඉස්මතු කළේය.

“දශක ගණනාවක් විශිෂ්ට සේවාවක් මේ ගුවන්විදුලි සේවාවන් කළා. කාගේ අකාර්යක්ෂමතාවයක් නිසා ද මේ තත්ත්වයට පත් වුණේ. ඉදිරියට කරගෙන යෑමට යම් වැඩපිළිවෙළක් කරන්න. වහන්න එපා. විශාල ප්‍රමාණයක් එහි සේවය කරනවා. ඒ ගැන අවධානය යොමු කරන්න. මූල්‍ය ශක්තියක් පිටතින් ගෙන හෝ පුද්ගලික අංශ සමග එකතුවෙලා හෝ මේවා පවත්වාගෙන යන්න. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අයත් සියලු ප්‍රාදේශීය සේවාවන් 31 දා සිට වසා දැමීමට ගෙන ඇති තීරණය නවත්වා කුමන හෝ වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක කරන්න .ගුවන්විදුලි සේවා වසා දැමීමට වගකිවයුත්තන් කවරෙක්ද යන්න අනාවරණය කළ යුතු බවද විපක්ෂ නායකවරයා කීවේය.

මෙසේ ප්‍රාදේශීය සේවා වසා දැමීමට හේතුව ලෙස රටේ පවතින මූල්‍ය අර්බුදය බව යැයි කීවද ඉතා දීර්ඝ කාලයක් යනතුරුත් ඊට පිළියම් සෙව්වේ නැත්තේ ඇයි දැයි යන කාරණය ද ගැටලු සහගතය. ඒ නිසා ම මේ මොහොතේ සිට ක්‍රියාත්මක විය යුත්තේ එවැනි විධිමත් වැඩපිළිවෙළකටය. එවිට අනාගතයේ හෝ මෙවැනි වසා දැමීමේ යෝජනාවක් පැමිණියහොත් එය ගොඩින් බේරා ගැනීමේ අවස්ථාවක් හිමි වේ.

හිටපු ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල් එරානන්ද හෙට්ටිආරච්චි මහතා ගුවන්විදුලි ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල චරිතයකි. අවස්ථා කිහිපයක දීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පමණක් නොව ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාවන් පවා පෞද්ගලික ගුවන්විදුලි නාලිකා සමග තරගකාරී මට්ටමකට ගෙන ඒමට සැලසුම් ගණනාවක් ඉදිරිපත් කළ අයෙකි.

“ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා වසා දැමීමට එක් හේතුවක් තමයි, පෞද්ගලික ගුවන්විදුලි නාලිකා ඇති වීමත් සමග ආදායම් උපද්දවීමේ ක්‍රම නිසා මතුවන අභියෝගවලට සාර්ථක මුහුණ දීමට නොහැකි වීම. ඒ අභියෝගවලට මුහුණ දෙමින් සාර්ථක ක්‍රියාමාර්ග නොගැනීම නිසි පිළියම් නොකිරීමත්, තවත් එක් ප්‍රධාන හේතුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. නමුත් මේ අභියෝග සියල්ලට ම සාර්ථකව මුහුණ දීමේ හැකියාව අප සතුව තිබුණා. 2015 වර්ෂයේ දී මා ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි කාල වකවානුවේ දී එවකට සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා සමග එක්ව ප්‍රාදේශීය ගුවන්විදුලි ප්‍රතිසංවිධානය කළ යුතු ආකාරය පිළිබඳ කමිටුවක් පත් කළා. ආචාර්ය එම්.ජී.ආර්. ඩේවිඩ් මහතාගේ සභාපතීත්වයෙන් සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරී පිලිප් ශාන්ත , පළමු නෙත් අන්ධ ගුවන්විදුලි නිවේදිකාව වන බිසෝ මැණිකා ඇතුළු තවත් සමාජික සාමාජිකාවන්ගේ එකතුවෙන් ප්‍රාදේශීය සේවා ප්‍රතිසංවිධානය කරන්න යෝජනා කමිටුවක් පත් කළා. ඒ කමිටුව තුළින් සාධනීය අදහස් රැසක් යෝජනා වුණා. ඉන් එක යෝජනාවක් තමයි වැසීගිය කොත්මලේ ප්‍රජා ගුවන්විදුලි මධ්‍යස්ථානය මාධ්‍ය පාසලක් විදිහට ප්‍රතිනිර්මාණය කිරීම. මේ මාධ්‍ය පාසල තුළ දවස් 5ක නේවාසික පාඨමාලිවක් ඇතුළත් වුණා. ඒ පාඨමාලාවට සහභාගී වූ සියලු ම සිසුන් රැස් කරගෙන ඔවුන්ගේ සජීවි වැඩසටහනක් කඳුරට සේවය හරහා ප්‍රචාරය කරා. එමගින් අපි බොහෝ ආදයම් ලැබුවා. ඊට අමතරව ඇසළ පෙරහැරේ සජීවි විකාශනයන් ලබාදීම මගින් ලක්ෂ 100කට ආසන්න ආදයමක් ලබන්න කඳුරට සේවයට හැකි වුණා. කඳුරට සේවය වියදමට වැඩිය ලාභය උපයමු මධ්‍යස්ථානයක්. නමුත් 2019න් පසුව බලයට පත් වූ රජ්‍යන්ගේ මැදිහත්වීමෙන් විවිධ දේශපාලනික පත්වීම් නිසා මේ සියලු දේ නැවැත්වීමට සිදු වුණා. නිසා පරිපාලනයක් නොමැතිකම මෙයට ප්‍රධාන හේතුව. මම ඇතුළු මගේ සමාජිකයන් පිරිස කඳුරට සේවය තුළ ක්‍රියාත්මක කළ වැඩ පිළිවළවල් සියල්ල අදත් තිබුණානම් කිසිම දීනක කඳුරට සේවය වහන තැනට පත්වෙන්නේ නෑ. මීට අමතර රජරට සේවයේ අලෙවි සැලැස්මකින් යුතුව ක්‍රියාත්මක වීමට තිබූ අංග සම්පූර්ණ රංග ශාලා සැලසුම අද වෙනකොට දියත් කළානම් රජරට සේවයට අද මෙවැනි පසුබිමක් උදාවෙන්නේ නෑ. ඒ වගේම රුහුණු සේවය වෙනුවෙන් ඉදිකිරීමට තිබූ රංග ශාලාව අද ඉදි කළානම් රුහුණු සේවය අද පාඩු ලබන ආයතනයක් වශයෙන් නම් කරන්නේ නෑ. මේ සියල්ලට ම හේතුව නිසි පරිපාලනයක් ප්‍රාදේශීය ගුවන්විදුලි තුළ ක්‍රියාත්මක නොවීමයි.

සන්නිවේදනය, ශ්‍රී ලංකාවේ මෙන්ම ඕනෑම රටක සංවර්ධන ක්‍රියාදාමය තුළ වැදගත් මෙහෙයක් ඉටු කරයි. ගුවන්විදුලිය යනු අපේ රටේ ද පැරැණිතම සන්නිවේදන මාධ්‍යයකි. එය අදටත් ඉතා ප්‍රතිඵලදායක මෙන්ම ප්‍රබල සන්නිවේදන මෙවලමකි. සංවර්ධනය වෙමින් පවතින රටවල් සිය සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේදී, සංවර්ධන සන්නිවේදන මාධ්‍යයක් ලෙස ගුවන්විදුලිය යොදාගෙන ඇත. මෙහිදී විශේෂයෙන්ම ජාතික ගුවන්විදුලියට වඩ වඩාත් ප්‍රතිඵලදායක ලෙස භාවිත කර ඇත්තේ ප්‍රජා ගුවන්විදුලිය බව බොහෝදෙනාගේ පිළිගැනීමය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ විවිධ ගුවන්විදුලි නාලිකා ක්‍රියාත්මක වී තිබේ. ඒ, ජාතික සේවා, ප්‍රාදේශීය සේවා සහ ප්‍රජා සේවා ලෙසින්ය. ප්‍රජා ගුවන්විදුලි අත්දැකීම, ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන්නේ මහවැලි ප්‍රජා ගුවන්විදුලිය 1981 වසරේ දී ආරම්භ වීමත් සමඟය. ඒ සමග ම ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලිය (1986) ද, මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන්විදුලිය (1987) ද, කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය හා පුලතිසිරාවය 1998 දී ද ආරම්භ විය. ඌව ප්‍රජා ගුවන්විදුලිය 2003 වසරේ ආරම්භය සනිටුහන් විය. ප්‍රජා ගුවන්විදුලි සේවාවක් පවත්වාගෙන යෑමෙන් මූලික වශයෙන් අපේක්ෂා කරන්නේ සුළුතර ප්‍රජා කණ්ඩායම් ශක්තිමත් කිරීම, සමාජ සුබ සාධනය හා සාමූහික සමාජ අරමුණු සාක්ෂාත් කර ගැනීම මගින් අන්තර් සමාජ ක්‍රියාකාරීත්වයක් ගොඩනැංවීමයි. එහෙත්, බොහෝ ප්‍රජා ගුවන්විදුලි සේවා වර්තමානය වනවිට ක්‍රියාත්මක වන්නේ නැත. එහෙත්, මෙරට රාජ්‍ය ගුවන්විදුලිය හරහා ක්‍රියාත්මක වූ මේ සේවා මගින් සිදුවූ සේවය නම් මිල කළ නොහැකිය. ලාංකික සමාජයේ විකාශය වන ප්‍රජා ගුවන්විදුලි සේවාවන්, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ ඇති රජයේ අධිකාරීමය බලය කරණකොට ගෙන ක්‍රියාත්මක වන නිසාවෙන් වර්තමානය වනවිට ප්‍රජා ගුවන්විදුලි සංකල්පය බිඳවැටීමට හේතු වී ඇත. එමෙන්ම වාණිජ පරමාර්ථයන් සාක්ෂාත් කරගැනීම උදෙසා වෙළෙඳ සමාගම් විසින් ගුවන්විදුලි සංඛ්‍යාතයන් මිලදී ගැනීම හේතුවෙන් ප්‍රජා ගුවන්විදුලි සේවාවන්වල පැවැත්මට තර්ජනයක් වී තිබේ. කෙසේ හෝ මෙම තීරණය ‘ හකුළාගන්නට ‘ කටයුතු කිරීම වැදගත්ය. එකල රසඥතාවෙන් සපිරි පරපුරක් බිහි කළ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සේම ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා වසා දමන තත්ත්වයකට පත්විය යුතු නැත. පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවන්ට බැණ අඬගසමින් සිටිනවාට වඩා කළ යුත්තේ ඉක්මනින් ක්‍රියාත්මක වීමය.

මල්මී රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment