අල්කයිඩා නායකයා ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට

433

ඇමෙරිකා එක්සත් ජනපදයට අත්‍යවශ්‍යව සිටින ත්‍රස්තවාදී නායකයකු වන 2001 ඇමෙරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල පුපුරවා හැරීමේ ප්‍රහාරය සැළසුම් කිරීමට දායක වූ අල්කයිඩා සංවිධානයේ නායක අයිමන් අල් සවාහිරි ඇමෙරිකානු හමුදා විසින් ඇෆ්ගනිස්ථානයේදී එල්ල කළ ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් මියගොස් ඇති බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් තහවුරු කර තිබේ.

ඉකුත් ඉරිදා (31දා) ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු කාර්යාංශයේ (සී අයි ඒ) නිලධාරීන් විසින් ත්‍රස්තවාදීන් කොටු කර ගැනීමේ මෙහෙයුමකදී එල්ල කළ ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් අල්කයිඩා සංවිධානයේ නායකයා මරා දමා තිබේ. ඇමෙරිකානු රහස් ඔත්තු සේවා නිලධාරීන් විසින් කාබුල් නගරයේ ආරක්ෂිත නිවසක රැඳී සිටි අල් සවාහිරි එම නිවසෙහි උඩුමහලෙහි සිටියදී ඩ්‍රෝන යානාවක් මගින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් මරා දමා ඇති බව අනාවරණය වී තිබේ. ඩ්‍රෝන යානාවක් මගින් අල් සවාහිරි ඉලක්ක කරගෙන එල්ල කර ඇති මිසයිල දෙකක් හේතුවෙන් ඔහු මියගොස් ඇති අතර ඔහුත් සමග සිටි පවුලේ සෙසු සාමාජිකයන් හට හානියක් එම ප්‍රහාරයෙන් සිදුව නොමැති බව ඇමෙරිකාව පවසයි. 2001 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් අගනුවර පිහිටි නිවුන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැඟිලිවලට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය හිටපු අල්කයිඩා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් සමග එක්ව සැළසුම් කර තිබුණේ මරා දැමූ අල් සවාහිරි විසිනි. ඇමෙරිකානු පුරවැසියන්ට හිංසා කිරීමේ හා පුරවැසියන් මරා දැමීමේ චෝදනා මත අල් සවාහිරි ඇමෙරිකාවට අවශ්‍යම කරන ත්‍රස්තවාදියකු ලෙස නම් කර තිබිණි.

‘ඇමෙරිකාවට එරෙහිව අල්කයිඩා සංවිධානය විසින් එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාව ඔසාමා බින් ලාඩන් හට වසර 11කට පෙර යුක්තිය ඉටු කළ පසු අල් සවාහිරි අල්කයිඩා සංවිධානයේ නායකයා ලෙස තේරී පත්ව තිබුණා. ඔහු පසුගිය වසරවල සැඟවී සිටිමින් ලොව පුරා පිහිටුවා ඇති අල්කයිඩා සංවිධානයේ ශාඛාවන් සම්බන්ධීකරණය කරමින් සිටියා. ඔහු විසින් ඇමෙරිකාව ඉල්ලක කරගත් ප්‍රහාරයන් සිදු කිරීමට අල්කයිඩා සංවිධානයේ සාමාජිකයන්ට අවශ්‍ය මඟපෙන්වීම හා පෙළඹවීම සිදු කළ අයෙකි’ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment